
මෝටර් රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන් විසින් නොසැලකිලිමත් ලෙස සිය වාහනය හෝ යතුරුපැදිය නවත්වා තැබීමෙන් එය අපරාධකරුවන් විසින් සොරා ගැනීම් පිළිබඳව මේ වන විට තොරතුරු වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි.
අද (21) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පැවසුවේ එහිදී එම රථවාහන හෝ යතුරුපැදි තුළ තිබෙන වටිනා ලියකියවිලි මෙන්ම වටිනා භාණ්ඩද අන්සතු වීම් පිළිබඳව මේ වන විට වාර්තා වී ඇති බවය.
ඇතැම් අවස්ථාවලදී ත්‍රීවිල් රථ රියදුරන් මෙන්ම යතුරුපැදිකරුවන් එංජිම පණ ගන්වා තිබියදී වෙනත් අවස්ථාවල නිරත වීම මෙන්ම යතුරුපැදියේ මෙන්ම ත්‍රිරෝද රථයේ යතුරු එහිම තබා යාම තුළින් ක්ෂණිකයෙන් අපරාධකරුවන් සොරා ගන්නා බවට මේ වන විට පොලීසියට නිරීක්ෂණය වූ බවත් ඒ් මහතා මෙහිදී පෙන්වා දෙනු ලැබීය.
එමෙන්ම සිය වාහනය, යතුරුපැදිය මෙන්ම ත්‍රිරෝද රථය නිවසේ එළිමහනේ තබා තිබීමත් නිවසේ ගෙවත්තේ ඇති ගේට්ටු අගුල් නොදමා තිබියදී එම යතුරුපැදි හෝ රථවාහන සොරාගෙන යෑම් පිළිබඳවද පොලීසිය වෙත කරුණු වාර්තා වී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ජනාකීර්ණ ස්ථානයක රථ වාහනය නතර කර තබන්නේ නම් එම ස්ථානය වටා සිටින ආරක්ෂක නිලධාරියෙකු සමග, සාප්පු සංකීර්ණයක වාහනය නතර කර තිබෙනවානම් ඊට අදාළ ආරක්ෂක නිලධාරියා හෝ සාප්පු සංකීර්ණයේ රාජකාරි කරන සේවකයෙකුට ඒ බව දැනුම්දෙන ලෙසත්ය.
එමෙන්ම රාත්‍රී කාලයේදී අඳුරු ස්ථානයක හෝ හුදෙකලා ස්ථානයක යතුරුපැදියක් හෝ තමන්ගේ වාහනය නවත්වා ඇත්නම් එය අපරාධකරුවෙකුට අපරාධයක් සිදු කිරීම සඳහා පිටුවහලක් වන බැවින් ඒ පිළිබඳවද කල්පනාකාරීව සිටිය යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් සිය වාහනයක් සොරකමකට ලක්වූයේ නම් පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119/118 හෝ ළඟම තිබෙන පොලිස් ස්ථානයකට, ළඟම පොලිස් නිලධාරියෙකුට මේ බව කඩිනමින් දැනුවත් කරන ලෙසත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.


















































