
වසරේ මේ දක්වා කාල සීමාව තුළ දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 93,381 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එමෙන්ම ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 71ක් වන අතර එහි රෝගී මරණ අනුපාතය 0.076%ක් ලෙස සටහන් වී තිබේ.
අගෝස්තු මාසයේ ගතවූ දින 20ක කාලය තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 8,043 දෙනෙකු වාර්තා වී ඇත.
ජූලි මාසයේදී රෝගීන් 29,964 සහ ජූනි මාසයේදී රෝගීන් 21,533ක් වාර්තා වී ඇති අතර ඒ හා සසඳන විට අගෝස්තු මාසයේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බවද සඳහන්.
එමෙන්ම සමස්ත රෝගීන්ගෙන් 52.94%ක්ම, එනම් රෝගීන් 49,440 දෙනෙකු වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.
දකුණු පළාතෙන් රෝගීන් 13,697ක් වාර්තා වන අතර, මධ්‍යම පළාතෙන් රෝගීන් 8,441ක් වාර්තා වී තිබේ.
මේ අතර දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 19,888කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,535ක්ද, මහනුවරින් රෝගීන් 6,755ක්ද වාර්තා වී ඇත.
මීට අමතරව මාතර, කළුතර, ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලින්ද පිළිවෙලින් රෝගීන් 6,077ක්, 6,040ක්, 5,122ක් සහ 4,979ක් වාර්තා වන අතර, කොළඹ නගර සභා බලප්‍රදේශයෙන් රෝගීන් 3,760ක් වාර්තා වේ.
දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 76ක් තවදුරටත් අධි-අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.
මදුරුවන් බෝවන ස්ථාන පරිශ්‍රයන්ගෙන් ඉවත් කරමින් පරිසරය පිරිසිදුව තබා ගැනීමටත්, උණ රෝගී තත්ත්වයක් පවතින්නේ නම් ප්‍රමාද නොවී සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටත් සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.


















































