
පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත පවරාගත් මේ වන විට නිදහස් කළ හැකි බවට හඳුනාගෙන ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් කඩිනමින් නිදහස් කර අදාළ පාර්ශ්වයන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ මේ සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවට එක්වෙමිනි.
ජාතික ආරක්ෂාව ඉතා වැදගත් වන අතර ඒ සඳහා හමුදා කඳවුරු ස්ථාපනය කළ යුත්තේ කුමන ස්ථානවලද යන්න තීරණය කිරීම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන පිරිසගේ කාර්යභාරය බව ඒ මහතා පෙන්වා දුන්නේය.
එම කරුණු මත පදනම්ව නිදහස් කළ හැකි ඉඩම් මොනවා ද යන්නත්, නිදහස් කළ නොහැකි ඉඩම් මොනවාද යන්නත් සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන ලෙස අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
අත්‍යවශ්‍ය ඉඩම් ප්‍රමාණය තීරණය කිරීමේදී හැකිතාක් ජනතාවගේ පැත්තෙන් සිතා බැහැර කළ හැකි උපරිම ඉඩම් ප්‍රමාණය බැහැර කළ යුතුය.
ජනාධිපතිවරයා එසේ ලබා දෙන ඉඩම් කොටස්වලට අමතරව එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග සලසා දීමට කටයුතු කිරිමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
ඒ සඳහා ඉහළ ඵලදායීතාවක් ලබා ගත හැකි නවීන කෘෂි තාක්ෂණය සහිත ව්‍යාපෘති හඳුන්වා දීමට කටයුතු කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත වැඩිදුරටත් උපදෙස් දුන්නේය.












































