අමෙරිකා - ශ්‍රී ලංකා ඒකාබද්ධ CARAT 2026 සමුද්‍රීය අභ්‍යාසය ත්‍රිකුණාමලයේදී අරඹයි

අමෙරිකා - ශ්‍රී ලංකා ඒකාබද්ධ CARAT 2026 සමුද්‍රීය අභ්‍යාසය ත්‍රිකුණාමලයේදී අරඹයි

July 27, 2026   08:39 pm

සමුද්‍රීය ආරක්ෂාව සහ කලාපීය සූදානම ශක්තිමත් කිරීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර 'සහයෝගීතාව, සූදානම සහ පුහුණු' (CARAT 2026) ඒකාබද්ධ අභ්‍යාසය සයවන වරටත් ත්‍රිකුණාමලයේදී ආරම්භ කර තිබේ.

ජූලි 26 වන දින ආරම්භ වූ මෙම ද්විපාර්ශ්වික අභ්‍යාසයට ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, එක්සත් ජනපද නාවික හමුදාව සහ එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය එක්ව සිටිති.

ජූලි 27 සිට 31 දක්වා ත්‍රිකුණාමලය සහ කොළඹ මුහුදු තීරයේදී මෙම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වේ.

සතියක් පුරා ක්‍රියාත්මක වන මෙම වෙරළාශ්‍රිත සහ මුහුදු පුහුණු වැඩසටහන් තුළින් සමුද්‍රීය ක්ෂේත්‍ර පිළිබඳ දැනුවත්භාවය (MDA), උපායික වෛද්‍ය පුහුණුව, පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීම (EOD) සහ නෞකා පරීක්ෂා කිරීමේ සහ අත්අඩංගුවට ගැනීමේ (VBSS) මෙහෙයුම් පිළිබඳව දෙරටේ නිලධාරීන් දැනුම්වත් කෙරේ.

මෙම අභ්‍යාසය සඳහා එක්සත් ජනපද නාවික හමුදාවේ P-8A පොසෙයිඩන් (Poseidon) සමුද්‍ර මුර සංචාර සහ සෝදිසි ගුවන් යානයක් මෙන්ම, SLNS ගජබාහු (P626) නෞකාව සහ එක්සත් ජනපද වෙරළාරක්ෂක සමුද්‍රීය සම්බන්ධතා කණ්ඩායම (MET) ද එක්ව සිටිති.

පසුගිය වසරේදී ඇති වූ දිට්වා සුළි කුණාටුවට ප්‍රතිචාර දැක්වීමේදී දෙරටේ හමුදා අතර ගොඩනගාගත් සබඳතා ඉතා වැදගත් වූ බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මැතිව් හවුස් මහතා මෙහිදී අවධාරණය කරයි.

ලෝකයේ කාර්යබහුලම සමුද්‍රීය කොරිඩෝවක් ඔස්සේ පිහිටා ඇති ශ්‍රී ලංකාවට, මෙම අභ්‍යාසය හරහා සෙවීම් හා ගලවා ගැනීමේ මෙහෙයුම් වැඩිදියුණු කර ගැනීමටත්, ස්වාභාවික ආපදාවලට සාර්ථකව මුහුණ දීමටත්, ඉන්දියානු සාගරයේ මුහුදු මාර්ග සුරක්ෂිතව පවත්වාගෙන යාමටත් විශාල රුකුලක් ලැබෙනු ඇති බව සඳහන් වේ.