අලුතින් ඉදිවෙන දෙනියාය මූලික රෝහලට ඉන්දියාවෙන් රුපියල් මිලියන 600ක ප්‍රදානයක්
July 14, 2026 03:03 pm
දෙනියාය මූලික රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදී.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අත්සන් තැබීමේ උත්සවය පැවැත්වුණු බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
වත්මන් දෙනියාය රෝහල පිහිටා ඇති ස්ථානය නිතර නායයෑම් ඇතුළු ස්වභාවික ආපදාවලට ලක්වන බැවින්, පූර්ව ආපදා සූදානමක පියවරක් ලෙස රෝහල ආරක්ෂිත වෙනත් ස්ථානයක අලුතින් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ.
එලෙස අලුතින් ඉදිවන දෙනියාය රෝහල නවීන වෛද්‍ය උපකරණවලින් සන්නද්ධ කිරීම සඳහා ඉන්දීය රජය විසින් රුපියල් මිලියන 600ක ප්‍රදානයක් ලබා දීමට මෙම ගිවිසුම යටතේ එකඟ වී ඇත.
නව රෝහල ඉදිකර අවසන් කිරීමට වසර තුනක කාලයක් අපේක්ෂා කරන අතර, එහි ඉදිකිරීම් කටයුතුවල අවසන් අදියරට සමගාමීව මෙම උපකරණ සැපයීමට සහ ස්ථාපනය කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය, දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් ඉන්දීය රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 450 ක සහන පැකේජයේ එක් කොටසකි.
මෙම ප්රදානය යටතේ රෝහලේ සාමාන්‍ය වාට්ටු, දැඩි සත්කාර ඒකක , හදිසි අනතුරු සහ හුදකලා ඒකක, ශල්‍යාගාර, බාහිර රෝගී අංශය , රසායනාගාර, මධ්‍යම විෂබීජහරණ අංශය , විකිරණවේද අංශය, ලේ බැංකුව, භෞතචිකිත්සක ඒකකය සහ ළදරු දැඩි සත්කාර ඒකකය ඇතුළු අංශ රැසකට නවීනතම වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට නියමිතය.
