UGC චක්‍රලේඛයට විරෝධය
February 19, 2026 08:49 pm
විශ්වවිද්‍යාල සිසුන්ගේ සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණය සඳහා ආචාර්යවරුන් මැදිහත්විය යුතු බව පවසමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිකුත් කළ චක්‍රලේඛයට සිසුන්ගේ මෙන්ම ආචාර්යවරුන්ගේද දැඩි විරෝධය එල්ල වෙමින් තිබේ.
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පෙන්වා දෙන්නේ, චක්‍රලේඛයේ අරමුණ නවකවදය වැළැක්වීම වුවත් මේ හරහා එම අරමුණ කිසිසේත් ඉටුනොවන බවය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉකුත් පෙබරවාරි 6 වැනිදා 2026/02 චක්‍රලේඛය නිකුත් කළේ විශ්වවිද්‍යාල සිසුන් සංවිධාන කරන විෂය බාහිර කටයුතු ඇතුළු සියලු ක්‍රියාකාරකම් ආචාර්යවරුන් සහ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බව පවසමින්ය.
ඒ, නවකවදය වැළැක්වීම අරමුණ කරගනිමින්ය.
ඊට සමගාමීව කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරකම් රාත්‍රී 10ට අවසන් කළ යුතු බවට පරිපාලනය ගත් තීරණයකට එරෙහිව ඉකුත් අඟහරුවාදා එම විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවක නිරත වුණි.
මේ අතර, පේරදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය සඳහා ආණ්ඩුව මෙවැනි අණපනත් ගෙන එන බවය.
එවැනි පසුබිමක 2026/02 චක්‍රලේඛය සුදුසු පරිදි සකස් කරන ලෙස හෝ අවලංගු කරන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලිපියක් යොමුකර තිබේ.
මේ අතර, 2026/02 චක්‍රලේඛයට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පිරිසක් අද පස්වරුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවක නිරත වුණි.
අනතුරුව ශිෂ්‍ය නියෝජිතයින් කිහිප දෙනෙකුට විශ්වවිද්‍යාල බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවුණි.
