පාස්පෝට් නිකුත්කිරීම සම්බන්ධයෙන් ඇසෙන අලුත්ම පුවත
February 8, 2025 01:36 pm
පැය 24 පුරා ක්‍රියාත්මක වෙමින් දෛනිකව විදෙස් ගමන්බලපත්‍ර 4000ක් නිකුත්කිරිමේ යෝජිත වැඩපිළිවෙළ තවත් දින 10කින් පමණ ආරම්භ කිරීමට හැකිවනු ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
එම සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පුහුණු නිලධාරින් බදවාගැනීම වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරින්ගේ නාමලේඛනයක් රාජ්‍යසේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා මේ වනවිට යොමුකර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව එම කොමිෂන් සභාවේ අනුමැතිය ලද විගස පැය 24 පුරා ක්‍රියාත්මක විදෙස් ගමන්බලපත්‍ර නිකුත්කිරිමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ද ඊයේ (7) පවත්වා තිබේ.
දැනට පැනනැගි ඇති අර්බුදයට පිළියම් ලෙස විද්වත් කමිටු නිර්දේශ පරිදි දෛනිකව නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩි කිරීම හා යාපනයේ නව ආගමන හා විගමන කාර්යාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම විදෙස් ගමන්බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ නව පොලිස් මුරපොළක් ස්ථාපිත කිරීමටද උපදෙස් ලබා දුන් බව ආනන්ද විජේපාල අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.