නවසීලන්තය ලකුණු 315ක් පසුපසින්
September 28, 2024 04:54 pm
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අවසන් වනවිටත් තරගයේ අණසක පැතිරවීමට ශ්‍රී ලංකාව සමත්ව සිටී.
ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 514ක ඉලක්කයක් හඹායන නවසීලන්තය අද දිනයට තරගය නතර කරනවිට සිය දෙවන ඉනිමට කඩුලු 5 ක් දැවි ලකුණු 199 ක් රැස්කරගෙන සිටියේය.
අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට නවසීලන්තය සිය පළමු ඉනිමට කඩුලු දෙකක් දැවි ලකුණු 22ක් රැස්කරගෙන සිටි අතර නවසීලන්ත පිලේ තුන්වන කඩුල්ල ලෙස කේන් විලියම්සන් දවාගනිමින් සිය කඩුලු දඩයම ඇරඹීමට ප්‍රභාත් ජයසූරීය සමත්විය.
අනතුරුව ක්‍රියාත්මකවූ නිෂාන් පීරිස් සිය මංගල ටෙස්ට් කඩුල්ල ලෙස රචීන් රවින්ද්‍ර දවාගත්තේය.
නිෂාන් සහ ප්‍රභාත්ගේ පන්දු යැවීම හමුවේ නවසීලන්ත පළමු ඉනිම ලකුණු 88කට සීමා විය.
එම ලකුණු සංඛ්‍යාව නවසීලන්තය ශ්‍රී ලංකාව හමුවේ රැස්කළ අඩුම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවයි.
නවසීලන්ත පළමු ඉනිමේ ලකුණු 10 සීමාව පසුකිරීමට සමත්වුණේ පිතිකරුවන් තිදෙනෙක් පමණක් වීම විශේෂත්වයකි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මිචෙල් සැට්නර් ලකුණු 29යි.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරීය ලකුණු 42ට කඩුලු 6ක් දවාගත්තේය.
ඔහු ඉනිම් 16ක් අතරතුරදී කඩුලු 5 බැගින් දවාගත් 9 වැනි අවස්ථාව මෙය වන අතර ඉන් අවස්ථා 8ක්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී වීම විශේෂත්වයකි.
ප්‍රභාත්ට අනගි සහායක් ලබාදුන් නිෂාන් පීරිස් ලකුණු 33ට කඩුලු 3ක් දවාගත්තේය.
ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට කඩුලු 5ක් දැවි ලකුණු 602ක් රැස්කර තිබීම නිසා නවසීලන්තයට පිට පිට දෙවන වරටත් පන්දුවට පහර දීමට සිදුවුණි.
ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 514ක ඉලක්කයක් හඹායෑඹට පිටියට පිවිසි නවසීලන්ත දෙවන ඉනිමේ පළමු කඩුල්ල ලෙස ටොම් ලේතම් ලකුණු නොලබා ක්‍රීඩාගාරයට හරවා යවන්නට නිෂාන් පීරිස් සමත්වුණි.
නමුත් දෙවන කඩුල්ලට පිටියට එක්වු කේන් විලියම්සන් සහ ඩෙවෝන් කෝන්වේ ලකුණු 97ක සබඳතාවක් ගොඩනගමින් නවසීලන්තය ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ආවේය.
දිනේෂ් චන්දිමාල් රැකගත් විශිෂ්ඨ උඩපන්දුවක් හමුවේ ලකුණු 61ක් රැස්කරගෙන සිටි ඩෙවෝන් කෝන්වේ ඉනිමේ දෙවන කඩුල්ල ලෙස දැවිගියේය.
ඒ අතර ලකුණු 46ක් රැස්කරගෙන සිටි කේන් විලියම්සන් දැවිගියේ අතිරේක ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්ගේ විශිෂ්ඨ පන්දු රැකීම නිසයි.
අයහපත් ආලෝක තත්ත්වය නිසා තරගය අද දිනයට නතර කරනවිට ටොම් බ්ලන්ඩල් සහ ග්ලේන් පිලිප්ස් 6වන කඩුල්ලට ලකුණු 78ක නොබිඳුණු සබඳතාවක් රැස්කරගෙන සිටියේය.
බ්ලන්ඩල් නොදැවි ලකුණු 47ක් රැස්කරගෙන සිටි අතර පිලිප්ස් නොදැවි රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 32කි.
ඒ අනුව නවසීලන්තය කඩුලු 5ක් අතැතිව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 315ක් පසුපසින් සිටී.