
කොළඹ මධ්යම තැපැල් හුවමාරුවේදී සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී රුපියල් මිලියන 67.53කට අධික වටිනාකමකින් යුත් මත්ද්රව්ය තොගයක් සිය භාරයට ගැනීමට ශ්රී ලංකා රේගුවේ මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් සමත්වී ඇත.
විදේශ රටවල් කිහිපයක සිට එවා තිබූ සැකකටයුතු විදේශීය තැපැල් පාර්සල් 11ක් තුළ සඟවා තිබියදී මෙම මත්ද්රව්ය සොයාගෙන තිබේ.
පසුගිය මාස කිහිපය තුළ විදේශයන්හි සිට ලැබෙන තැපැල් භාණ්ඩ පරීක්ෂා කිරීමේදී රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම සැකකටයුතු පාර්සල් හඳුනාගෙන තිබුණි.
පසුව අදාළ ලිපිනයන්හි හිමිකරුවන් පැමිණ භාරගන්නා තෙක් ඒවා රඳවා තබා ගැනීමට පියවර ගෙන තිබූ අතර, ලබා දී තිබූ කාලසීමාව තුළ පාර්සල් භාරගැනීමට කිසිවෙකුත් නොපැමිණීම හේතුවෙන් පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් ඉදිරිපිට ඒවා විවෘත කර පරීක්ෂා කිරීමට කටයුතු යොදන ලදී.
ඒ අනුව, අද (19) රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් සහ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් එක්ව මධ්යම තැපැල් හුවමාරුවේදී මෙම පාර්සල් 11ම පූර්ණ පරීක්ෂාවකට ලක් කරන ලදී.
එහිදී තායිලන්තය, අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, බෙල්ජියම, ප්රංශය, නෙදර්ලන්තය සහ ජර්මනිය යන රටවල සිට මෙම පාර්සල් එවා ඇති බව අනාවරණය වී තිබේ.
තායිලන්තය, අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියෙන් එවා තිබූ පාර්සල් තුළින් රුපියල් මිලියන 30.5කට අධික තක්සේරු වෙළෙඳපොල වටිනාකමකින් යුත් කිලෝග්රෑම් 3.1කට අධික කුෂ් ගංජා ප්රමාණයක් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
මීට අමතරව, බෙල්ජියම, ප්රංශය, කැනඩාව සහ ජර්මනියෙන් එවන ලද පාර්සල්වලින් ග්රෑම් 2,395ක MDMA පෙති ද, නෙදර්ලන්තයේ සිට එවන ලද පාර්සලයකින් මැන්ඩි මත්ද්රව්ය ග්රෑම් 33ක් ද අනාවරණය කරගෙන තිබේ.
මෙහිදී හසු වූ විශාලතම මත්ද්රව්ය තොගය වන්නේ බෙල්ජියමේ සිට එවූ පාර්සලයක තිබී හමු වූ රුපියල් මිලියන 33.03ක් පමණ වටිනා ග්රෑම් 2,20 ක MDMA පෙති තොගයයි.
මධ්යම තැපැල් හුවමාරුවේදී මූලික පරීක්ෂණ කටයුතු නිම කිරීමෙන් අනතුරුව, ඉදිරි විමර්ශන සහ අධිකරණ මගින් නීතිමය පියවර ගැනීම සඳහා සිය භාරයට ගත් මත්ද්රව්ය ශ්රී ලංකා රේගු නිලධාරීන් විසින් පොලිස් මත්ද්රව්ය කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කර ඇත.



















































