
ජාත්යන්තර මූල්ය අරමුදල සෑම විටම ශ්රී ලංකාව වෙනුවෙන් කැපවූ විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස ඉදිරියටත් රැඳී සිටින බව ජාත්යන්තර මූල්ය අරමුදලලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අංශ ප්රධානී සොනාලි ජේන් චන්ද්රා පවසයි.
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ජාත්යන්තර මූල්ය අරමුදල සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික හමුවට සමගාමීව පැවති මාධ්ය හමුවකදී ශ්රී ලංකාවේ ආර්ථික ප්රගතිය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ඇය මේ බව සඳහන් කළාය.
මෙහිදී ශ්රී ලංකාව සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කළ ඇය,
"ශ්රී ලංකාවේ ආර්ථික තත්ත්වය දැන් ගොඩක් දියුණුයි. අනිත් රටවල් එක්ක බලද්දි මූල්ය ක්රියාකාරීත්වය හරිම ශක්තිමත්. ආදායම් අනුපාතය දෙගුණවෙලා. ණය ප්රතිව්යුහගත කිරීමත් බොහෝදුරට දැන් ඉවරයි. අඛණ්ඩව කාර්තු 11ක් තිස්සේ ආර්ථික වර්ධනය ධනාත්මක මට්ටමක තියෙනවා.
අර්බුදය කාලේ මුහුණදුන් පසුබෑමට පස්සේ පාලන තන්ත්රය ඇතුළු ව්යුහාත්මක පැත්තෙනුත් ලොකු දියුණුවක් දක්නට ලැබෙනවා. ඒක මේ වැඩසටහනේ ප්රධාන කොටසක් වුණා. ඉතින් මේ වැඩසටහනෙන් ලොකු සාර්ථකත්වයක් ලැබිලා තියෙනවා.
ඊළඟට තියෙන ප්රශ්නෙ තමයි ඊළඟට මොකක්ද වෙන්නෙ කියන එක. මම මුලින්ම කියන්න ඕන තව සමාලෝචන 2ක් කරන්න තියෙනවා. ඒ නිසා දැනට තියෙන වැඩසටහන යටතේ තවත් වැදගත් වැඩ කොටසක් ඉතිරිවෙලා තියෙනවා.
ඔක්තෝබර් මුලදී අපි 7 වැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට ආවා. ඉදිරි සතිවලදි අධ්යක්ෂ මණ්ඩලය ඒක සලකා බලයි. ඊට පස්සේ මාර්තු අගදී වැඩසටහන ඉවරවෙන්න කලින් තවත් සමාලෝචන වාරයක් තියෙනවා.
ඉතින් මම හිතන්නේ දැනට සිද්ධවෙන ආර්ථික ස්ථාවරභාවය ආරක්ෂා කරගැනීමත් මම අර කිව්ව ප්රතිසංස්කරණවල ප්රතිඵල ශක්තිමත් කරගැනීමත් හරිම වැදගත්.
එතැනින් එහාට ගියාම රජයත් එක්ක ජාත්යන්තර මූල්ය අරමුදල ඉදිරියට කටයුතු කරන්නෙ කොහොමද කියන ප්රශ්නය තියෙනවා.
අරමුදල් වැඩසටහනක් ඉල්ලනවද? නැද්ද? කියන එක රජයට තීරණය කරන්න පුළුවන්. අපිට ශ්රී ලංකාවට උදව්කරන්න පුළුවන් ක්රම ගොඩක් තියෙනවා. අලුත් මුල්යකරණ වැඩසටහනක් විදිහට වෙන්නත් පුළුවන්. නැත්නම් ප්රතිපත්ති, උපදෙස් විදිහට වෙන්නත් පුළුවන්.
ඉතින් මට කියන්න තියෙන්නෙ ශ්රී ලංකාවට අවශ්ය ඕනෑම විදිහකට සහයෝගය දෙන්න අපි සූදානම් කියලයි. ඉතින් මේ ගැන අපි අනාගතයේදී කතා කරමු.
කොහොම වුණත් අපි හැමදාම ශ්රී ලංකාවත් එක්ක කැපවීමෙන් වැඩකරන හවුල්කාරයෙක් විදිහට ඉන්නවා" යැයි පැවසීය.



















































