
කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 17ක මූල්ය ප්රදානයක් සිදුකර තිබේ.
මෙම මූල්ය පරිත්යාගය ලබා දීමත් සමඟ මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති එරික්.එස් මේයර් මහතා අද (16) පෙරවරුවේ වරාය පරිශ්රයට පැමිණියේය.
තානාපතිවරයා ප්රථමයෙන් කොළඹ වරාය නියමු නාවික මධ්යස්ථානයට පැමිණි අතර එහිදී වරාය සහ සිවිල් ගුවන්සේවා, බලශක්ති අමාත්යය අනුර කරුණාතිලක, වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්රම දිසානායක යන මහත්වරුන් විසින් ඒ මහතාව පිළිගනු ලැබූහ.
මෙහිදී තානාපතිවරයා පැවසුවේ අමෙරිකා තාක්ෂණය කොළඹ වරායට හඳුන්වාදීම තුළින් භාණ්ඩ වරාය මෙහෙයුම් වේගවත් කිරීමටත්, වෙළඳ කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමටත් මෙන්ම දෙරටේ ආර්ථිකයන් වඩාත් ශක්තිමත් කිරීමට දායක වන බවය.
එමෙන්ම වරාය නිරීක්ෂණය තුළින් ගෝලීය වෙළඳාම අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම තවදුරටත් අවබෝධ කරගැනීමට හැකි වූ බව ඔහු සඳහන් කළේය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්ය අනුර කරුණාතිලක මහතා පැවසුවේ මූල්ය ප්රදානය වෙනුවෙන් අමෙරිකා රජයට සහ ජනතාවට මෙරට රජයේ ස්තූතිය පුද කරන බවය.
එම ආධාර මුදල, නාවික තනි කවුළුව සහ වරාය මෙහෙයුම් ඩිජිටල්කරණය සඳහා යොදා ගැනීමට හැකිවන බවත් එමඟින් වරාය මෙහෙයුම් ලබාගන්නා සියල්ලන්ට එය උපකාරි වන බව ද ප්රකාශ කළේය.
වරාය අධිකාරියේ සභාපතිවරයා ද මාධ්ය හමුවේදී අදහස් දක්වමින් පැවසුවේ මේ වසරේ බහාලුම් මිලියන 09ක් මෙහෙයවීමට අපේක්ෂා කරන බවත්, ඉන් 80% පමණ ප්රතිනැව්ගත කිරීම් බවය.
ප්රතිනැව්ගත කිරීමේ බහාලුම් මෙහෙයවීම තුළින්, ගෝලීය වෙළඳාමට කොළඹ වරාය ලබාදෙන දායකත්වයේ වටිනාකම අමෙරිකා ඩොලර් බිලියන 250 කට අධික වන බව ද සභාපතිවරයා සඳහන් කළේය.
එය ශ්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ඉතා විශාල දායකත්වයක් ද වන බවත් වරාය මෙහෙයුම්වලට සම්බන්ධ සියලු පාර්ශ්වයන් අතර සම්බන්ධතාව සහ තොරතුරු හුවමාරුව වැඩිදියුණු බව ද ඔහු මෙහිදී පැවසීය.



















































