
බන්ධනාගාරගතව සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේලා මේ වනවිට මාර්ගයේ අසුන් ගැනීමට කටයුතු කර තිබේ.
ඒ, උන්වහන්සේලා සමග සාකච්ඡා කිරීමට ජනාධිපති ලේකම් ඉදිරිපත් නොවීමට විරෝධය පළ කරමිනි.
මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ ‘නිදහසේ පාද යාත්රාව’ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට අද (15) පස්වරුවේ ළඟා විය.
ඉන් අනතුරුව උන්වහන්සේලා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සෙත් පිරිත් සජ්ඣායනාවක් ද සිදු කළේය.
පාගමනේ හයවැනි දිනය වන අද (15) කඩවතින් ආරම්භ කළ පාද යාත්රාව කිරිබත්ගොඩ, පෑලියගොඩ, මාලිගාවත්ත සහ මරදාන නගර පසුකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට මෙලෙස පැමිණ තිබුණි.
පාද යාත්රාව හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, මෙම පාද යාත්රාව හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර මාර්ගයේ ද දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවය.
මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගා පරිශ්රයේ පිහිටි වාරියපොළ ශ්රී සුමංගල හිමියන්ගේ ප්රතිමාව අසලින් පසුගිය 10 වැනිදා මෙම පාද යාත්රාව ආරම්භ කෙරිණි.



















































