
හෙට (14) දිනයේදී දිවයිනේ පළාත් හයක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, ඌව සහ දකුණු පළාත්වල එලෙස තද වැසි ඇති විය හැකිය.
එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයින ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී ද වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.
මේ අතර, බස්නාහිර, උතුරු සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම, ඉදිරි කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද ජනතාවට දැනුම් දී තිබේ.



















































