
පානදුර සහ මොරටුව ප්‍රදේශවලට ඉතා සූක්ෂම ලෙස අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක නිරත වූ මෝදර ප්‍රදේශයේ තරුණ යුවළක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (11) මෙලෙස අත්අඩංගුවට පත්වන විට ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,651,901ක් සහ ප්‍රවාහනයට යොදාගත් ස්කූටි වර්ගයේ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි, මෙම සැකකරුවන් විදෙස්ගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන "මෝදර අසිත" නැමැත්තාගේ මෙහෙයවීම මත කාලයක සිට මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇත.
පොලිස් පරීක්ෂණ මඟහැර යාම සඳහා ඔවුන් අතිශය නින්දිත ක්‍රමයක් අනුගමනය කර තිබේ.
ඒ, තම දෙහැවිරිදි දැරියට අසනීපයක් නිසා ප්‍රතිකාර සඳහා රෝහලකට රැගෙන යන බව පවසමින්, මාර්ගයේ ඇති පොලිස් පරීක්ෂණ මුලා කරමින් මෙම ජාවාරම සිදු කිරීමයි.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ වෙත ලද රහසිගත තොරතුරක් මත, අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් පරිදි මෙම වැටලීම ක්‍රියාත්මක කෙරිණි.
ඒ සඳහා බුද්ධි නිලධාරීන් යොදවා රහසිගත ආවේක්ෂණයක් සිදුකර ඇති අතර, මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට පත්ව ඇත්තේ ජයගත්පුර, මෝදර පදිංචි 25 හැවිරිදි "මෝදර චිකෝ" සහ ඔහුගේ 21 හැවිරිදි බිරිඳයි.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා එගොඩඋයන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, රැඳවුම් නියෝග ලබාගෙන පුළුල් පරීක්ෂණ පවත්වයි.



















































