
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුත් දේපළ රැසක් දින 14කට ක්‍රියාවිරහිත කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය පියවර ගෙන තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට රැගෙන එන ලද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන නීති විරෝධී මුදල් යොදා ගනිමින් සැකකරු විසින් සිය පුත්‍රයා, පියා සහ තවත් සමීපතමයෙකුගේ නම්වලින් මෙම දේපළ මිලදී ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අදාළ දේපළ විකිණීම, පැවරීම හෝ වෙනත් ආකාරයකින් පරිහරණය කිරීම වැළැක්වීම සඳහා අද (08) සිට දින 14ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත.
ඒ යටතේ,
බොරලැස්ගමුව, දෙහිවල පාරේ පිහිටි රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් කායවර්ධන මධ්‍යස්ථානයක්,
දඹුල්ල, තිත්තවැල්ගොල්ලේ රුපියල් කෝටි 3 හමාරකට අධික වටිනාකමින් යුත් ඉඩම් හා එහි ඉදිකර ඇති සංචාරක නිවස්නයක් සහ නිවසක්,
යක්කල ප්‍රදේශයේ රුපියල් කෝටි 3කට පමණ වටිනාකමින් යුත් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවසක්
මෙලෙස ක්‍රියාවිරහිත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.





















































