
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් 13 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
අදාළ නඩුව අද (17) කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී, ඇප මත සිටින විත්තිකරුවන් දෙදෙනාම අධිකරණය හමුවේ පෙනී සිටියහ.
එහිදී වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, නඩුවේ සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇති ඇතැම් ප්‍රකාශවල සම්පූර්ණ පිටපත් විත්තියට ලබාදී නොමැති බවය.
යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, අල්ලස් කොමිසම විසින් ලබාදී ඇති ඇතැම් ලේඛන අපැහැදිලි බැවින් ඒවායේ පැහැදිලි පිටපත් ලබාදෙන ලෙසයි.
ඊට ප්‍රතිචාර දක්වමින් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රුවිණි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළේ, විත්තිය ඉල්ලා සිටින ඇතැම් ලේඛන මහාධිකරණයට භාරදී ඇති බැවින් ඒවා ලබාදීමට නොහැකි බවත්, කොමිසම සතුව පවතින ලේඛන ලබාදිය හැකි බවත්ය.
කරුණු සලකා බැලූ විනිසුරුවරයා, අධිකරණය භාරයේ පවතින විත්තිය ඉල්ලා සිටි ලේඛන නියමිත ගාස්තුවට යටත්ව ලබාදීමට පියවර ගන්නා ලෙස නියෝග කළේය.
එමෙන්ම, අල්ලස් කොමිසම සතුව පවතින සෙසු අදාළ ලේඛන ඇත්නම් ඒවාද විත්තියට ලබාදීමට කටයුතු කරන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.
2006 වසරේදී නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස බඳවා ගැනීම සහ පැවති පටිපාටියෙන් බැහැරව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට රජයේ මුදල් වැය කර සහභාගි කරවීම තුළින් දූෂණය නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා ගොනු කර තිබේ.



















































