
නිවාස දහසකින් යුත් ස්ටේඩිටම්ගම Port View Residencies නව මහල් නිවාස සංකීරණය අද (15) ජනතා අයිතියට පත් කෙරිණි.
ඒ මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙනි.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන සැලසුම්කරණයට අනුගතව නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් කොළඹ නාගරික පුනර්ජිවන ව්‍යාපෘතිය මගින් මෙම මහල් නිවාස සංකීර්ණය ඉදි කර ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 9,866ක් වන අතර මූල්‍ය ප්‍රතිපාදන ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය ආධාර යටතේ ලබා දී තිබේ.
මහල් 15කින් යුත් මෙම නිවාස ව්‍යාපෘතිය වර්ග අඩි 500ක ප්‍රමාණයේ නිවාස ඒකක 1,000කින් සහ ජනතාවට අවශ්‍ය පොදු පහසුකම් ලබා ගත හැකි අංගවලින් සමත්විත වේ.
නිවාසලාභීන්ගේ පොදු අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, ප්‍රජා ශාලාවක්, දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්, පොලිස් මුරපොලක්, ග්‍රාම නිලධාරී කාර්යාලයක්, ගිනි නිවීමේ ඒකකයක්, සුපිරි වෙළෙඳසැලක්, ළමා උද්‍යානයක් සහ අත්පන්දු ක්‍රීඩා කිරීම සඳහා ස්ථානයක් ඇතුළු පහසුකම් රැසක් සහිතව මෙහි ඉදි කිරීම් නිමකර තිබේ.
මහල් නිවාස යෝජනා ක්‍රමයේ ජනතා පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ පූර්ණ යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලියක් සිදු කරන අතර ප්‍රදේශයේ මාර්ග පද්ධතිය සහ ඇළ මාර්ග පද්ධතිය සංවර්ධනය, නව ප්‍රජා ශාලාවක් ඉදි කිරීම හා පවතින ක්‍රීඩාංගණය වැඩිදියුණු කිරීමද මෙයට ඇතුළත් වේ.

























































