
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වන ප්‍රසන්න සංජීව මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව මගී ප්‍රවාහන අවසර පත්‍ර නිකුත් කර රජයට රුපියල් 4,160,000ක පාඩුවක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් නියමිත ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව එම අවසර පත්‍ර නිකුත් කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
එමගින් බාහිර පාර්ශ්වයන්ට වාසියක් සැලසීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට සැකපිට ප්‍රසන්න සංජීව මහතා අද (15) පෙරවරු 9.50ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසම සඳහන් කරයි.



















































