
වසර 95ක සර්වජන ඡන්ද බල උරුමයක් හිමි ශ්‍රී ලංකාව, අද වන විට තාක්ෂණයෙන් පෝෂණය වූ සහ නීතියේ ආධිපත්‍යය සුරකින නව මාවතකට පිවිස සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනයට සමගාමීව මැතිවරණ කොමිෂන් සභාව විසින් රාජගිරිය මහ බැංකු අධ්‍යයන කේන්ද්‍රයේදී සංවිධානය කරන ලද විශේෂ සැමරුම් උත්සවයට අද (15) එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මැතිවරණ ඉලෙක්ට්‍රොනික සේවාවට (E-Services) වසර 10ක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් එළිදැක්වීමද මෙහිදී සිදු කෙරිණි.
දේශපාලන අතපෙවීම්වලින් තොරව පොලීසියට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අධිකරණ පද්ධතියට පූර්ණ නිදහස ලබා දී ඇති බවත්, අපරාධකරුවන්ට සහ දූෂිතයන්ට එරෙහිව පක්ෂ පාට භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක වන බවත් අගමැතිවරිය අවධාරණය කළාය.
රටට විදේශ විනිමය ගෙන එමින් ආර්ථිකය රකින, මෙතෙක් ඡන්ද අයිතිය අහිමිව සිටි විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද බලය ලබා දීමේ ක්‍රමවේදය සක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.
රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරමින් වංචාව සහ දූෂණය සිදුවන මාර්ග වසා දමා, රාජ්‍ය සේවය විනිවිදභාවයෙන් යුතු යාන්ත්‍රණයක් බවට පත් කරමින් පවතීන බවත් කිසිවෙකු අතනොහරින' ප්‍රවේශය යටතේ අධ්‍යාපන, සෞඛ්‍ය සහ සමාජ සුභසාධන ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටීන බව ඇය පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක, මැතිවරණ කොමසාරිස් ජනරාල් රසික පීරිස්, ආසියා-පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂිකා ලීනා රික්කිලා තමාං යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



















































