
2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට තවත් රුපියල් මිලියන 2,500ක අරමුදල් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026 යල කන්නයේ වී මිලදී ගැනීමේ කඩිනම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාදී ඇති රුපියල් මිලියන 7,500ක අමතර ප්‍රතිපාදනවලින් මෙම මුදල ලබාදීමට නියමිතය.
ප්‍රතිපූරණය කිරීමේ පදනම මත අදාළ රුපියල් මිලියන 2,500ක මුදල වී අලෙවි මණ්ඩලය වෙත ලබාදීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.
යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සඳහා මේ වන විට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ වෙන් කර තිබූ මුදලින් රුපියල් මිලියන 6,000ක් වී අලෙවි මණ්ඩලයට ලබාදී තිබේ.
එම මුදල යොදා ගනිමින් මේ වන විටත් වී මිලදී ගැනීමේ කටයුතු සිදුකරමින් පවතී.
කෙසේ වෙතත්, අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල මෙන්ම මහවැලි බී, සී සහ එච් කලාපවල වී අස්වනු නෙළීම තවමත් අවසන් වී නොමැත.
ඒ හේතුවෙන් එම ප්‍රදේශවල ඉදිරියේදී සිදුකිරීමට නියමිත වී මිලදී ගැනීම් සඳහා දැනට වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවට හඳුනාගෙන තිබේ.
ඒ අනුව, වී ගොවීන්ගෙන් යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුකිරීම සඳහා අතිරේක රුපියල් මිලියන 2,500ක මුදලක් වී අලෙවි මණ්ඩලයට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.



















































