
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ DNA පරීක්ෂණ ධාරිතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා නවීන පරීක්ෂණ උපකරණ රැසක් ලබාදී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මැදිහත්වීමෙන් ලබාදුන් මෙම උපකරණ අද (15) පෙරවරුවේ බත්තරමුල්ල, ඉසුරු මාවතේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී භාරදීම සිදුකෙරිණි.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත Azusa Kubota මහත්මිය විසින් එම උපකරණ රජයේ රස පරීක්ෂක කාමිණි පෙරේරා මහත්මිය වෙත භාරදෙනු ලැබුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සහභාගිත්වයෙනි.
RT-PCR යන්ත්‍රයක්, PCR පද්ධතියක් සහ Crime Lite සිරෝලොජි කට් ඇතුළු උපකරණ ඒ අතර වේ.
ජීව විද්‍යාත්මක සාක්ෂි නිවැරදිව හඳුනාගෙන විශ්ලේෂණය කිරීම මගින් අධිකරණ ක්‍රියාවලියේ විද්‍යාත්මක පදනම ශක්තිමත් කිරීම මෙම උපකරණ ලබාදීමේ ප්‍රධාන අරමුණයි.
එමෙන්ම, අධිකරණ විද්‍යාත්මක DNA විශ්ලේෂණයේ නිරවද්‍යතාව සහ විශ්වාසනීයත්වය ඉහළ නැංවීම තුළින් නඩු කටයුතුවල පවතින ප්‍රමාදයන් අවම කිරීමටද මේ හරහා අපේක්ෂා කෙරේ.
මේ අතර, රස පරීක්ෂක වාර්තා ලබාදීමේ ප්‍රගතිය සහ නවීන පරීක්ෂණ පහසුකම් සම්බන්ධයෙන්ද අද විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය සම්බන්ධ රස පරීක්ෂණ වාර්තා මාස තුනකට අඩු කාලයක් තුළ නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීමටද පියවර ගෙන ඇති බවත්, නවීන යන්ත්‍ර සහ අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ලබාදීම හරහා පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.



















































