
නුවරඑළිය, නානුඔය රදැල්ල ග්ලාස්ගෝ වතුයාය ආසන්නයේ පිහිටි නානුඔය ඇළේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ නානුඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 සහ 24 පසුවන තරුණයින් දෙදෙනෙකි.
හපුතලේ සිට නානුඔය ඒඩම්බරෝ වත්තේ පිහිටි ඥාති නිවසකට පැමිණි තරුණයෙකු, පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු සමඟ දිය නෑමට නානුඔය ඇළට ගොස් තිබේ.
එහිදී අදාළ තරුණයා දියේ ගිලී ඇති අතර අනෙක් තරුණයා ඔහුව බේරා ගැනීමට යාමේදී මෙලෙස දෙදෙනාම දියේ ගිලී ඇති බව වාර්තා වේ.
පසුව ප්‍රදේශවාසීන් සහ නානුඔය පොලිස් නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී ඇළේ තිබූ ගැඹුරු වළකින් තරුණයින් දෙදෙනාගේ සිරුරු සොයාගෙන ඇත.
මෘත ශරීර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී සිදුකිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

















































