
මෙරට කජු ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ වැවිලි ධාරිතාවය ඉහළ නැංවීම වෙනුවෙන් අදාළ පාර්ශ්වකරුවන් සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඒ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ සඳහන් කරනුයේ ජාතික කජු ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා තාක්ෂනය හා පර්යේෂණ සහයෝගය ලබාදීමට සූදානම්ව සිටින බවය.
ඒ සඳහා වූ මූලික පියවරක් ලෙස වැවිලි බෝගයක් ලෙස කජු ක්ෂේත්‍රය මුහුණ දෙන වර්තමාන සහ අනාගත තාක්ෂණික, පර්යේෂණාත්මක සහ මෙහෙයුම් අභියෝග පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වා ඇත.
මෙහිදී දේශීය කජු ක්ෂේත්‍රෙය් වත්මන් තත්ත්වය සහ විධිමත්ව වගා කෙරෙන භූමි ප්‍රමාණය පිළිබඳවත් එම බිම් ප්‍රමාණය වැඩි කර ගැනීම සහ ඒ සඳහා ඇති පසුබිම පිළිබඳවත් මූලිකව විමසා බැලිණි.
මෙරට කජු ගසකින් ලැබෙන සාමාන්‍ය අස්වැන්න ප්‍රමාණය කිලෝ 4-5ත් පමණ ප්‍රමාණයක් බවත් වෙනත් රටවල නවීන තාක්ෂණික ක්‍රමවේද හරහා කිලෝ 20 පමණ අස්වැන්නක් ලබා ගත හැකි තත්ත්වයට දියුණු කර ඇති බවත් මෙහිදී හෙළිව තිබේ.
රට තුළ දියුණු කජු වගාවකට වර්ෂයකට පැළ මිලියනයක් පමණ අවශ්‍ය වුවද මේ වන විට නිෂ්පාදනය කෙරෙනුයේ පැළ ලක්ෂ 3-4ක ප්‍රමාණයක් බැවින් ඊට විසඳුමක් ලෙස වර්ෂ 10ක ඉදිරිය ගැන සිතා අවශ්‍ය බද්ධ පැල ඇති කිරීමට විද්‍යාත්මක ක්‍රමවේද අවශ්‍ය බව මෙහිදී පාර්ශ්වකරුවන් පෙන්වා දී ඇත.
කජු වගාවේ නව ප්‍රභේද හඳුනා ගැනීම, අස්වැන්න වැඩි කර ගැනීම, අවශ්‍ය බද්ධ පැළ හා ගුණාත්මක බීජ නිෂ්පාදනය වෙනුවෙන් පවතින පර්යේෂණ හා තාක්ෂණික පරතරයන් පියවීම සඳහාත්, උසස් පටක රෝපණ ප්‍රචාරණය සඳහාත් අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ ආයතනවල සහය ලබා දීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම පර්යේෂණ ප්‍රබුඛතා ක්ෂේත්‍රයන් හඳුනාගනිමින් ඊට අදාළව සිදු කරන ඉලක්කගත පර්යේෂණ වෙනුවෙන් අරමුදල් සම්පාදනය කළ හැකි බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශය අතර උපායමාර්ගික සබඳතා ඇති කිරීම සහ ශක්තිමත් අවබෝධතා ගිවිසුම් යටතේ වෙනත් රටවලින් ඉහළ අස්වැන්නක් ලබා දෙන ජානමය ද්‍රව්‍ය ආනයනය කිරීමේ යාන්ත්‍රණයක් ඇති කිරීමේ වැදගත්කමද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
තවද කජු ගස හරහා අගය එකතු කළ අතුරු නිෂ්පාදන බිහි කිරීම, භෝග විවිධාංගීකරණයට යොමු වීම ආදිය ඇතුළුව වගාව ගැන සමාජය දැනුවත් කිරීමට ප්‍රචාරණයන් සිදු කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

















































