ගංවතුරට වැටී කිලෝ මීටර් 9ක් ගසාගෙන ගිය රංජිත් දිවි බේරාගනී

ගංවතුරට වැටී කිලෝ මීටර් 9ක් ගසාගෙන ගිය රංජිත් දිවි බේරාගනී

January 3, 2024   05:42 pm

දිඹුලාගල, මනම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙක් දර කැඩීමට ගිය අවස්ථාවේදී ඔහු වෙත දිවියෙකු පැන ඇති අතර ඉන් බේරීමට උත්සාහ දැරීමේදී එම පුද්ගලයා ව ගංවතුරට වැටී ගසාගෙන ගොස් තිබේ.

එහිදී ඔහුව කිලෝ මීටර් 9ක් පමණ ගසාගෙන ගොස් ඇති අතර ඔහු සිය දිවි බේරාගැනීමට සමත් වී ඇත්තේ මයිල ගසක එල්ලීමෙනි.

පසුව දිඹුලාගල, මනම්පිටිය, මාගංතොට ගම්මානයේ පිරිසක් විසින් ඔහු ව බේරාගෙන තිබේ.
.
මෙම සිද්ධියට මුහුණ පා තිබුණේ මනම්පිටිය, මාගංතොට ගම්මානයේ පදිංචි 66 වියැති කේ. ඩබ්ලිව්. රංජිත් පෙරේරා නම් පුද්ගලයෙකි.

රංජිත් පෙරේරා නම් මෙම පුද්ගලයා ඉකුත් පළවෙනිදා උදෑසන කැලෑබද ප්‍රදේශයට දර සෙවීම සඳහා තනියම ගොස් ඇති අතර එහිදී දිවියකු ඇඟට පැනීම හේතුවෙන් ඔහු ගංවතුරට වැටී කිලෝ මීටර් නවයක් පමණ ගසාගෙන ගොස් ඇති බව මනම්පිටිය පොලීසිය කියයි.

මේ පිළිබඳ ඔහුගේ බිරිඳ මනම්පිටිය පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණි.
  
අනතුරුව මාගංතොට ගම්මානයේ, තරුණයන් ඇතුළු 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔහු සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
 
අනතුරුව එම පුද්ගලයා කරපොළ ප්‍රදේශයේ අඩි 12ක් පමණ උසැති මයිල ගහක සිටින අයුරු ගම්වාසීන් දැක ඇති අතර පසුව තරුණයන් විසින් ඔහුව බේරාගෙන නිවසට රැගෙනවිත් තිබුණි.