
වත්තේගම, කැබලිත්ත රක්ෂිත වනාන්තර කලාපය තුළ නීතිවිරෝධී ක්‍රියා සිදුනොවීමට වගබලා ගන්නා බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අභියාචනාධිකරණයට පොරොන්දුවක් ලබා දී තිබේ.
වත්තේගම, කැබලිත්ත රක්ෂිත වනාන්තර කලාපය තුළ සිදුවන නීතිවිරෝධී කැලෑ එලිකිරීම සහ එහි සේවයේ නියුතු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සිදුවන හිරිහැර වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත්කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී එම පොරොන්දුව ලබාදීම සිදුකෙරුණි.
එම පෙත්සම අද (18) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාඹරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වත්තේගම, කැබලිත්ත රක්ෂිත වනාන්තර කලාපය තුළ සිදුවන කැළෑ හෙළිකිරීම් ඇතුළු නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීමේ අරමුණින් සහ ඒ ආශ්‍රිතව සේවයේ නියුතු වන සංරක්ෂණ නිලධාරීන්ගේ ආරක්ෂාව තකා එම පෙත්සම ඉදිරිපත්කළ බව සඳහන් කළේය.
ඒ අනුව අදාළ රක්ෂිත කලාපය තුළ කැලෑ කැපීම්, ඉඩම් කොටස් කිරීම වැනි නීතිවිරෝධී ක්‍රියා සිදුවීම වැළැක්වීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා ඉල්ලා සිටියේය.
එහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා සඳහන් කළේ කැබලිත්ත රක්ෂිත වනාන්තර කලාපය තුළ නීතිවිරෝධී ලෙස කැලෑ කැපීම් ඇතුළු නීතිවිරෝධී ක්‍රියා සිදුනොවීමට එම නිලධාරීන් වගබලා ගන්නා බවය.
ඒ අනුව, එම කරුණු අඩංගු මෝසමක් ඔක්තෝබර් මස 16 වනදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල රජයේ නීතිඥවරයාට නියම කළේය.



















































