ඇමති හරීන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ ඉල්ලීම

ඇමති හරීන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ ඉල්ලීම

September 18, 2023   04:06 pm

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනුණු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව විමර්ශන කටයුතු අවසන් කරන ලෙස පොලීසිය වෙත නීතිපතිවරයා විසින් උපදෙස් නිකුත් කර ඇති බැවින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම පෙත්සම අද (18) ගාමිණී අමරසේකර, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමෙ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හරීන් ප්‍රනාන්දු මහතා විසින් මීට කලකට ඉහතදී මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුණි.

එම පෙත්සම ඉකුත් 13 වනදා කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ විමර්ශන ගොනු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පෙත්සම්කාර හරීන් ප්‍රනාන්දු මහතාට අදාළ විමර්ශන කටයුතු අවසන් කරන ලෙස නීතිපතිවරයා විසින් ඉකුත් ජුනි මස 20 වනදා උපදෙස් ලබා දුන් බවයි.

ඒ අනුව අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියේය.