මංගල උත්සවයේ නර්තනයේ යෙදී සිටි තරුණිය හදිසියේ මියයයි
August 28, 2023 09:46 am
මංගල උත්සවයක නර්තනයේ යෙදී සිටී රූමත් තරුණියක් හදිස්සියේ ඇති වු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි මොරගහහේන පොලීසිය සඳහන් කරයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මීගොඩ උඩගෙවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි හොරණ බටුවිට ප්‍රදේශයේ පුද්ගලික සමාගමක අලෙවි විධායකවරියක් ලෙස සේවය කරමින් සිටි මංජරී ආදිත්‍යා ප්‍රනාන්දු නැමැති 25 හැවිරිදි අවිවාහක තරුණියකි.
මියගිය තරුණිය ඇය සේවය කරන ආයතනයේ අයෙකුගේ විවාහ මංගල උත්සවයකට පිරිසක් සමඟ හොරණ ගෝනපොළ උත්සව ශාලාවක් වෙත ගොස් තිබුණි.
එහිදී පිරිස සමඟ විනෝද වී නර්තනයේ යෙදී සිට ඇතැයි පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මියගිය තරුණිය තවත් තරුණියන් දෙදෙනෙකු සමඟ නර්තනයේ යෙදෙමින් සිටින අවස්ථාවේදී එම ස්ථානයෙන් පිට වී ගොස් ඇති අතර ටික වේලාවකට පසු ඇයට අසනීප වී මෝටර් රථයකින් හොරණ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යාමෙන් අනතුරුව එම රෝහලේ වෛද්‍යවරු ඇයව හොරණ රෝහල වෙත රැගෙන යාම සඳහා උපදෙස් ලබාදී ඇතැයි පොලීසිය පැවසීය.
තරුණිය හොරණ රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂාවේදී ඇය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් විසින් දැනුම් දී ඇති බව පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.
තරුණියගේ මරණය සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඉදිරිපත්වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා පදනම් කරගෙන ඇයගේ මරණය සිදුවී ඇත්තේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ආහාරයට ගන්නා ලද ආහාර ස්වාස නාළිකාවලට යාමෙන් හුස්ම ගැනීමට සිදුවු අපහසුතාවය හේතුවෙන් බවට හොරණ මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක මුළු දිවයිනට සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා විසින් තීරණය කළේය.
හොරණ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රණීත සෙනෙවිරත්න මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළේය.
