Back to Top

ලිංගික සංක්‍රාන්තිකයින්ගේ හෙට දවස යහපත්ද?

January 12, 2017  

ලිංගික සංක්‍රාන්තිකයින්ගේ හෙට දවස යහපත්ද?



ලිංගික සංක්‍රාන්තිකයින් සම්බන්ධයෙන් සමාජය තුළ පවත්නා මතය වන්නේ ඔවුන් සමාජයට පීඩාකාරී පිරිසක් වන බවයි. එමෙන්ම ඔවුන් ඒඩ්ස් ඇතුළු විවිධ සමාජ රෝග සමාජය තුළ පතුරුවා හරින වාහකයින් වශයෙන් ද හඳුන්වා දෙනු ලැබේ. එනිසාම සාමාන්‍ය පුද්ගලයින්ට සමාජය තුළ හිමිවන්නා වූ අයිතිවාසිකම් භුක්තිවිඳීමට යෑමේදී ඔවුන්ට මුහුණ දීමට සිදුවන දුෂ්කතාවන් සහ අපහසුතාවන් අප්‍රමාණය. එහෙත්  ලිංගික සංක්‍රාන්තිකයින් සැබැවින්ම සමාජයට අහිතකර පිරිසක්ද? මේ ඒ පිළිබඳ තබන සටහනකි.

සංක්‍රාන්තික සමාජභාවය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී පැවසිය හැකි වන්නේ ඔවුන් උපතේදී තමන්ට ලබා දෙන්නා වූ ස්ත්‍රී හෝ පුරුෂ සමාජභාවය පිළිගැනීමට අකමැති පිරිසක් වන බවයි. කෙසේ වුවත් ඔවුන් අංශ ද්විත්වයක් යටතේ හඳුනාගත හැකි අතර එම වර්ග ද්විත්වය වන්නේ Male To Female (MTF) හා Female To (FTM) Male නැමැති වර්ගයයි. මෙම වර්ග ද්විත්වය අතරින් සමාජයේ වඩාත් අවධානයක යොමු වී ඇත්තේ Male To Female (MTF) නැමැති වර්ගයටය.



මෙම සංක්‍රාන්තික සමාජභාවය විවිධ ආගම් තුළ ද සාකච්ඡාවට බඳුන් කර තිබේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී මොවුන් ”උභතොබ්‍යඤ්ජනක” නමින් හඳුන්වා ඇති අතර මුහම්මද්තුමාගේ කාලයේ දී අතීත මෙදීනා නගරයේ ”මුඛන්නාතුන්” යනුවෙන් හැඳින් වූ සංක‍්‍රාන්තික සමාජභාවී පුද්ගලයන් වාසය කළ බව සඳහන් වේ. එසේම හින්දු ආගම තුළ ”අරවානි”  නමින් සංක්‍රාන්තික සමාජභාවය හඳුන්වා ඇත.

හෝර්මෝන ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් හෝ ලිංගික අවයව වෙනස් කිරීමේ වෛද්‍ය සැත්කම්වලට භාජනය වීමෙන් සංක‍්‍රාන්තික ලිංගිකයන් බවට පත්විය හැකිය. කෙසේ වෙතත් සංස්කෘතික වශ‍යෙන් පවත්නා සීමාන්තික තත්ත්වයන් තුළ මොවුන්ට තම සමාජභාවය ප්‍රසිද්ධියේ හෙළි කිරීමට නොහැකි වාතාවරණයක් නිර්මාණය වී තිබේ.

හිහුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් ශ්‍රී ලංකාව පදනම් කර ගනිමින් නිකුත් කර ඇති වාර්තාවක් අනුව ලිංගික සංක්‍රන්තිකයින් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව අවධාරණය කර ඇත. පසුගිය වසරේදී නිකුත් කරනු ලැබූ මෙම වාර්තාව “All Five Fingers Are Not the Same” හෙවත් “ඇඟිලි පහම එක හා සමාන නොවේ” යන නමින් නම් කර තිබේ. මෙම වාර්තාව තුළ සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික හා අතරමැදි ලිංගික පිරිස් සම්බන්ධයෙන් අධ්‍යයනයට ලක්කර තිබේ.



හිහුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් මෙම පර්යේෂණය සඳහා සහභාගි කරගනු ලැබූ එවැනි තත්ත්වවල පසුවන පුද්ගලයින් ශ්‍රී ලංකාවේ නගර 4කට අදාළව තෝරාගෙන ඇති අතර එම නගර වන්නේ කොළඹ, යාපනය, පොළොන්නරුව හා අම්බලන්ගොඩයි. 2015 වසරේ ඔක්තෝබර් හා නොවැම්බර් මාසවලත් 2016 වසරේ ජනවාරි මාසය තුළත් මෙම වාර්තාවට පදනම් වූ පර්යේෂණය  ශ්‍රී ලංකාව තුළ සිදුකර තිබේ.

එසේම මෙම පර්යේෂණය තුළ පුද්ගලයින් 61 දෙනෙකු සම්මුඛ සාකච්ඡා සඳහා සහභාගී කරගෙන ඇත. එම 61 දෙනා විවිධ ජනවාර්ගික කණ්ඩායම්වලට අයත් වන ලෙස තෝරාගෙන තිබේ. ඒ අනුව සිංහල ජන වර්ගය නියෝජනය කරමින් 46ක්, දමිළ ජන වර්ගය නියෝජනය කරමින් 11ක් හා වෙනත් ජන වර්ග නියෝජනය කරමින් 4ක් වශයෙනි. ඔවුන්ට අමතරව රජයේ නිලධාරීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, නීතීඥයින් හා වෛද්‍ය වෘත්තිකයින් ආදීන් සමඟද මේ සඳහා සාකච්ඡා පවත්වා තිබේ.



මෙම වාර්තාව අනුව ශ්‍රී ලංකාව තුළ මෙතෙක් අවධානයට ලක් නොවූ අංශ කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව සංක්‍රාන්තික සමාජභාවය සම්බන්ධයෙන් මෙරටේ පවත්නා නීතිය පැහැදිලි නොවන බව මෙම වාර්තාවේ දැක්වේ. එම නිසා ජාතික හැඳුනුම්පත වැනි නිල ලියකියවිලි සකස් කර ගැනීමට යාමේදී මොවුන්ට විවිධ අපහසුතාවන්ට ලක් වීමට සිදුවී තිබේ.

එමෙන්ම නීතිය ක්‍රියාත්මක වීමේදී ද මෙම ලිංගික සංක්‍රාන්තිකයින් විවිධ දුෂ්කරතාවන්ට ලක්වන බව මෙම වාර්තාව ඔස්සේ පෙන්වා දී තිබේ. ඒ සඳහා නිදසුනක් වශයෙන් පෙන්වා දිය හැකි වන්නේ කිසිදු හේතුවක් නොමැතිව පොලීසිය විසින් එවැනි පුද්ගලයින් රඳවා තබා ගෙන සිටින බවට ඔවුන් විසින් නඟන චෝදනාවයි. ඒ සම්බන්ධයෙන් මෙම වාර්තාවට සම්මුඛ සාකච්ඡා ලබා දුන් ලිංගික සංක්‍රාන්තීන්වලට ලක්වූ පුද්ගලයින් විසින් හෙළිදරව් කර ඇති කරුණු මෙම වාර්තාව තුළ අන්තර්ගත වේ.



තවද රැකියා අවස්ථා ලබා ගැනීමේ දී ද මෙවැනි පුද්ගලයින් විවිධ අපහසුතාවන්ට ලක්වන බව මෙම වාර්තාවේ සඳහන් වේ. විශේෂයෙන්ම සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම වැනි අවස්ථාවලදීද මොවුන් විවිධ හිරිහැරයන්ට භාජනය වන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් පෙන්වා දෙනු ලබයි.

පසුගිය දිනවල මෙරටේ තිරගත වූ “මායා“ චිත්‍රපටය ලිංගික සංක්‍රාන්තිකයින් සම්බන්ධ නව කතිකාවතක් මෙරට සමාජය තුළ නිර්මාණය කිරීමට සමත් වී තිබේ. ජනප්‍රිය නළු රන්ජන් රාමානායක මහතා විසින් පණ පෙවූ ලිංගික සංක්‍රාන්තියට ලක්වූ පුද්ගලයාගේ චරිතය මෙරට ප්‍රේක්ෂකයින් අතර වඩාත්ම ජනප්‍රියත්වයට පත්විය. එම චරිතය අනුව මෙතෙක් කලක් සමාජය තුළ රහස්‍ය ජීවිතයක් ගත කරමින් විවිධ අපහසුතාවන්ට ලක් වෙමින් සිටි ලිංගික සංක්‍රාන්තිකයින් සම්බන්ධයන් දැන් මෙරට සමාජයේ අවධානය යොමු වී තිබීම යහපත් තත්ත්වයක් වශයෙන් පෙන්වා දිය හැකිය.



මෙම ලිංගික සංක්‍රාන්තිකයින්ට එල්ල කරනු ලැබූ චෝදනාවක් සම්බන්ධයෙන් ද පසුගිය දිනයක පාර්ලිමේන්තුවෙන් වාර්තා විය. ඒ පසුගිය දිනයක පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී විමසනු ලැබූ ප්‍රශ්නයක් හේතුවෙනි. ඒ අනුව ඇතැම් අපරාධකරුවන් අත්අඩංගුවට පත්වීමෙන් වැළකීම සඳහා ලිංගික සංක්‍රාන්තිකයින් බවට පත්ව සිටීදැයි ඔහු විමසා සිටියේය. එවැනි පුද්ගලයින් මෙරට තුළ වාසය කරන බවට තමන්ට තොරතුරු ලැබී නැති බවත් මෙම ප්‍රශ්නය තමන් පොලිසියට යොමුකර ඒ ගැන ප්‍රකාශයක් කිරීමට කටයුතු කරන බව මෙම ප්‍රශ්නය සඳහා පිළිතුරු දුන් සාගල රත්නායක මහතා ප්‍රකාශ කර ඇත.

කෙසේ වුවත් මෙසේ ලිංගික සංක්‍රාන්තීන්ට ලක්වූ තැනැත්තන් තවදුරටත් සමාජයෙන් බැහැර කළ යුතු පිරිසක් වශයෙන් සැලකීම කිසිසේත් සාධාරණ නොවේ. මන්ද යත් ඔවුනුත් සාමාන්‍ය පුද්ගලයින් වශයෙන් මිහිමත උපත ලැබූ පිරිසක් වන බැවිනි. එනිසා ඔවුන් සම්බන්ධයෙන් විධිමත් නෛතික රාමුවක් සකස් වීම මෙන්ම ඔවුන් පිළිබඳ සුබවාදී ආකල්ප ගොඩනඟා ගැනීමට කටයුතු කිරීම ද වැදගත් වන බව අවසාන වශයෙන් අවධාරණය කළ යුතුය.

සටහන-සුරෝෂන ඉරංග

MOST VIEWED VIDEO STORIES

MORE >>