April 3, 2017
මෑත කාලයේ සිගරට් මිල බොහෝ ඉහළ ගියේය. ඒ අනුව අද සිගරට්ටුවක් මිලදී ගැනීමට රු.55ක මුදලක් වැය කිරීමට සිදුව තිබේ. මීට අමතරව සිල්ලරට විකිණිය නොහැකි බවට නීතිමය රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනයක් සඳහා සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අත්සන‍් තැබීමට නියමිතව තිබේ. මේ අයුරින් සිගරට්ටුව බිත්තියටම තබා තද කරන අවස්ථාවකදී දුම් පාලනයට ඇබ්බැහිවී සිටින පහල පාන්තිකයා පියවරක් පසුපසට ගෙන බීඩි පානය කිරීමට පෙළඹීමක් දක්නට ලැබේ. මේ පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුවේ නි. සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පළකරනු ලැබුවේ මෙවන් අදහසක්.
“70 ගණන්වල සිගරට් කොම්පැණිය වහනවා කීවම මිනිස්සු පාරවල් වල එකතු
වුණා. දැන් ඒක නෑ. පසුගිය රජයන් ගණනාවක් මතට තිත වගේ වැඩසටහන් කළා. සෑහෙන දුරට ඵල
දරලා තියෙනවා. සිගරට් කර්මාන්තයේ ලොකු බිඳ වැටීමක් තියෙනවා.
(පියල් කීර්ති රණසිංහ)
සිගරට් මිනිසුන්ගේ ආදයමට හරිම සංවේදියි. ලංකාවේ 95%ටත් වඩා විකිණෙන්නේ සිල්ලර විදිහටයි. පැකට් පිටින් නෙවෙයි. බදු හඳුන්වා දෙන්න යනකොට එකින් එකට බෑ. පැකට් විදිහටයි කරන්න වෙන්නේ. ඒත් පැකට් එකෙන් සක්‍රීය බලපෑමක් කරන එක අඩුයි. සංඛ්‍යා ලේඛණාත්මක බැලූ විට පෙනෙන්නේ තිබෙන දේ ප්‍රතික්ෂේප කිරීමක් හෝ යොමුවීම අඩුවීමක් දකින්නට පුළුවන්. ඒත් මේ නිසා යම් පමණකට බීඩි හෝ වෙනත් ආදේශක කරා යම් පිරිසක් යොමුවෙලා තියෙනවා. අඩු ආදායම් ලබන කම්කරු ක්ෂේත්‍ර යේ අය සිගරට් වෙනුවට පහසුවෙන් බීඩියට එන්න පුළුවන්. අද ඒක අපට දකින්නට පුළුවන්.“
මේ ආකාරයට දුම්වැටි වෙළඳපළ තුළ බීඩියට යම් ඉඩකඩක් නිර්මාණය වෙද්දී බීඩි එතීම ජීවනෝපාය ලෙස බාරගත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල තම ජීවිකාව කරගෙන යන අයුරු අප විසින් අමතක කළ යුතු නොවේ. බීඩියට තැනක් ලැබුණත් ඔවුන්ගේ ජීවිතවලට නිසි තැනක් ලැබී ඇත්දැයි අප මෙහිදී සොයා බැලුවෙමු. මේ නෙළුන්දෙණිය ප්‍රදේශයේ හැත්තෑ තුන් හැවිරිදි හය දරු මවකි. ඇයගේ නම ඩබ්ලිව්. එන්සාය. මේ ඇයගේ වියපත් හඬයි.
“ මට දැන් අවුරුදු හැත්තෑ තුනයි. මං යම්තම් දෙයක් දන්නා කියන කාලෙ ඉඳන් කෙරුවේ බීඩි එතිල්ල විතරයි. මං මගේ දරුවෝ හය දෙනෙක් හැදුවේ මේක උරුට්ටලා ගත්ත තුට්ටු දෙකෙන්. හැබැයි දරුවෝ මේ වැඩේ කරන්නේ නෑ. ඒ අය ඉහළටම නොවුණත් පුළු පුළුවන් තරමට ඉගෙන ගෙන වෙන වෙන වැඩවලට ගියා මං තාමත් මේ රස්සාව කරනවා“ ඇය කියා සිටියි.
“කොහොමද ගෙවීම්? ප්‍රශ්නය අපෙන්.
“බීඩි 1000ට රු.550 ක් හම්බ වෙනවා. වැඩි බීඩි 100ට රු.180ක් හම්බ වෙනවා. ඉස්සරට වඩා දැන් හොඳයි. මට දැන් වයසයි අසනීපයි හින්දා එක දිගටම මහන්සිවෙලා බීඩි ඔතන්න බෑ. ඒත් වැඩක් විදිහට ගෙදර දොරේ වැඩ ටිකත් කරන අතරේම බීඩි ඔතලා 10,000-12,000ක් වගේ ගාණක් මාසෙකට ගන්න පුළුවන්. ඒ ගාණ ගන්න අය ඉන්නවා.“
ඇය කියන්නේ සත්‍යයකි. ඇය මෙන්ම නෙළුම්දෙණිය, මාහේන, උඩුකුඹුර, අඹේපුස්ස, දංඕවිට, නැව්ගල, ඇත්නාවල, දුම්මලදෙණිය, ඉහළගම, පහළගම, බෙලිගල, යට්ටෝගොඩ, වරකාපොළ ආදී අවට ප්‍රදේශ ගණනාවක බොහෝ දෙනා අද දවසේද ස්වයං රැකියාවක් ලෙස බීඩි එතීම සිදුකරයි. මසකට උපයාගත හැකි රු.10,000-12,000ක් වැනි මුදලකින් පවුලක් නඩත්තු කළ හැකිදැයි සැකයක් උපදිනා නමුදු තාමත් මුළුමනින්ම නාගරීකරණය නොවූ මෙම ප්‍රදේශවලට එය සත්‍යයකි. මෙහෙි බොහෝ දෙනා දර ළිපෙන් ආහාර පිසිති. කුඹුරෙන් වී ගෙන කොටා හාල් කර ගනිති. තම ගෙවත්තෙන් පිටියෙන් එළවළු, මිරිස්, පලා ආදි අඩුවැඩිය බොහෝ දේ එකතු කරගත ගනිති. එබැවින් එතෙන බීඩිය ඔවුන්ගේ ජීවිත නඟා සිටුවන බැව් සැබෑවකි. බොහෝවිට ඔවුන්ගේම අතින් එතෙන බීඩියට ඔවුන්ගේම ගම් පළාත්වලම කුඩා සිල්ලර කඩවල වැඩි ඉල්ලුමක් පවතී. නෙළුන්දෙණිය, ඉහළගම පී. නිමල් මහතා එවන් කුඩා වෙළඳසැලක හිමිකරුවෙකි.
“දැන් බීඩියක් රුපියල් පහක් වෙනවා. සිගරට් ගණන් ගියාම පස්සේ බීඩි මිටි විස්සක් තිහක් විතර වැඩිපුර විකිණෙනවා. (බීඩි මිටියකට බීඩි 10 හා 20 බැගින් අයත්ය.) මුදලාලිලාට දෙන්න බැරි තේරිච්චි බීඩි (පළුදුවූ)එකක් රුපියල ගාණේ ගන්නවා. ඒවා එකක් දෙකයි පනහට විතර දෙන්න පුළුවන්. සමහර අය ඉතිං රුපියල් පහක් දීලා ලේබල් කරපු හොඳ බීඩියක් ගන්නවා වෙනුවට ඒ ගාණටම තේරිච්චි බීඩි දෙකක් ගන්නවා. දෙකෙන්ම එක වගේ දුම් එනවනෙ ඉතිං“ නිමල් හිනාවෙමින් කියයි. ඒ ගමේ මුදලාලිලාගේ හැටිය.
බීඩි එතීම සඳහා සුළු පරිමාණ බීඩි ව්‍යාපාරිකයින් විසින් තම සේවකයින්ට බීඩි දහසකට බීඩි කොළ ග්‍රෑම් 450ක්ද, දුම්කොළ කුඩු ග්‍රෑම් 500 ක් ද ලබාදෙනු ලබයි. බිඩි කොළ ග්‍රෑම් 450න් බීඩි දහසක් එතීම සඳහා බීඩියේ ප්‍රමාණයට කුඩා කොළ දහසක් කපා ගැනීම කළ යුතුය. එය වෘත්තීය පළ පුරුද්දෙන් හා දක්ෂතාව මත පමණක් රැඳ ඇති කටයුත්තකි. එසේ වුවද ඇතැම් බීඩි කොළ ඉරි තැළුණු, අව පැහැගැන්වුණු, සිදුරුවුණු අවස්ථාවන් වලදී කෙතරම් දක්ෂ හා පලපුරුදු අයෙකුට වුවද බීඩි දහසක් එතීමේ ඉලක්කය සපුරා ගැනීමට කුඩා කොළ දහසකට කපා ගැනීම කළ නොහැකිය. එවන් අවස්ථාවන්වලදී බීඩි ව්‍යාපාරිකයින් එම පාඩුව දරා ගන්නට සූදානම් නැත. එහිදී ඔවුන් සිදුකරනු ලබන්නේ හිඟ බීඩි ප්‍රමාණයේ පාඩුව ගෙවිය යුතු මුදලින් අඩුකර ගැනීමය. මේ නෙළුම්දෙණියේ රෝහිණී ස්වර්ණලතාය.
“කොළ දෙන්නෙත් , කුඩු දෙන්නෙත් මුදලාලිලා. ඒත් ඒ අය සවුත්තු වෙච්චි කොළ දුන්නට, ඒ කොළවලින් බීඩි දාහ ඔතා ගන්න බැරිවුණොත් දාහට ගෙවන ගාණෙන් අඩුකරගන්නවා. එහෙමත් කෙනෙක් තමයි හරියටම ගාණ ඔතලා ගාණ ගන්නේ. සුදු බීඩි ඔතද්දි නම් ඔය ප්‍රශ්නය නෑ.සුදු බීඩිය ඔතන්නේ කඩදාසියකනේ. ඒ කඩදාසිය බීඩියේ ගාණට මැෂිමෙන් කපලයි දෙන්නෙ. කොළ අපතෙ යාමක් නෑ. කුඩු ටිකක් හොඳටම සෑහෙනවා. අනික සම්පූර්ණයෙන්ම අතින්ම නෙවෙයි ඔතන්නේ. පුංචි අත් මැෂිමකුත් (අත් යන්ත්‍රයක්) දෙනවා. අතින් මේ බීඩි ඔතනවාට වඩා වැඩි ප්‍රමාණයක් සුදු බීඩි දවසකට ඔතන්න පුළුවන්. මේ බීඩිත් එක්ක බලද්දී දවසකට ඒ කාලේ රු. පනහක්ද කොහෙද වැඩිපුරත් ගෙවනවා. කොහොමත් මේ බීඩියට වඩා සුදු බීඩිය අපට වාසියි“ ඇය තවත් විස්තර ගොන්නක් අප හමුවේ තැබුවාය.
“ඒවා තහනම් කරානෙ. දැන් මේ පැත්තෙ කවුරුත් සුදු බීඩි ඔතන්නෙ නෑ. ඔතපු අයත් හැමෝම ආයෙ සාමාන්‍ය බීඩිය ඔතන්න ගත්තා“ ඇය කියා සිටියාය. එහෙත් සුදු බීඩි තහනම් වූ වගක් හෝ එය සිදුවූයේ කෙසේද යන්න වගක් අප දැන සිටියේ නැත. නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ කියන්නේ මෙවැන්නකි.
“ බීඩියක් වේවා සිගරට්ටුවක් වේවා ඕනෑම දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයක්
නියමිත නීත්‍යනුකූල නිෂ්පාදකයෙකු විසින් නීත්‍යනුකූලව නියමිත බද්ද ගෙවීමෙන් පසු
නීත්‍යනුකූලව වෙළඳ ප්‍රවාහයට එකතු කළ දුම්වැටි නිෂ්පාදනයක් නම් ගැටළුවක් වෙන්නේ
නෑ.
(නි.සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ)
සමහරවිට ඒකම පාරක තිබුණත් , එකමතැනක හැදුවත් නීත්‍යනුකූලව බදු ගෙවලා නැත්නම් ඒකත් නීති විරෝධීයි. දුම්කොළ බද්ද දේශීය නිෂ්පාදන වලට අදාළයි. තීරු බද්ද විදේශයන්ගෙන් ගෙන්වන ඒවාට අදාළයි. “
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා කියන කතාව සෑම දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයකටම අදාළය. එහෙත් සුදු බීඩිය සම්බන්ධයෙන් කියන්නට පවත්නා කතාව ඊට තරමක් වෙනස්ය. සුදුබීඩි එතීම ස්වයං රැකියාවක් ලෙස කළ මේ ප්‍රදේශයේ හැමෝම පාහේ කියන්නෙ එකම කතාවකි. එනම් සුදු බීඩිය තහනම් කළ බැවින් බොහෝ දුක් ගැහැට විඳින්නට සිදුවූ බව හා මේවන විට එය කර්මාන්තයක් ලෙස සම්පූර්ණයෙන්ම බිඳ වැටීමකට ලක්ව ඇති බවයි. එවක “සුදු බීඩි නිපදවන්නන්ගේ සමූපකාර සමිතිය“ නියෝජනය කළ අද වනවිට එක ව්‍යාපාරයෙන් මුළුමනින්ම ඈත්වී සිටින පියල් කීර්ති රණසිංහ මහතා මෙසේ කියා සිටියේය.
“ මං ළඟ සුදු බීඩි ඔතන, බණ්ඩල් කරන,වේළන, ප්‍රවාහනය කරන ආදී වශයෙන් මේ කර්මාන්තයත් එක්ක වැඩකරපු 6000ක් විතර හිටියා. අපට සුරාබදු දෙපාර්තමේන්තුවෙන්, පොලීසියෙන් දිගින් දිගට හිරිහැර කරද්දී මේකට සංවිධානාත්මකව මුහුණදෙන්න තමයි “සමස්ත ලංකා සුදු බීඩි නිපදවන්නන්ගේ සමූපකාර සමිතිය“පිහිටුවා ගත්තේ. අපේ සමිතිය නියෝජනය කරපු ඔක්කොම අය එක්ක වැඩ කරපු අය ගත්තොත් ලක්ෂ ගාණක්. අන්තිමට අපට වෙච්චි අසාධාරණය වෙනුවෙන් නඩු කීවා. 2006 අවුරුද්දෙ අපි නඩුවෙන් දිනුවා. ඒත් වැඩක් වුණේ නෑ. අන්තිමට ලක්ෂ ගාණක බීඩි බඩු පුච්චලා දැම්මා. සුදු බීඩි ඔතපු දහස් ගණනක අයගෙන් කොටසක් ආයෙම සාමාන්‍ය බීඩි ඔතන්න ගත්තා. තව ගොඩක් අය නන්නත්තාර වෙලා ගියා. දැන් සුදු බීඩි නෑ“
සුදු බීඩි කර්මාන්තයේ විනාශය සිදුවූයේ කෙසේද? ඉදිරි කොටසින් බලාපොරොත්තු වන්න.
1- 1- කොටස නිමි.