Back to Top

මට ලැජ්ජාවේ බෑ......

June 2, 2014  

මට ලැජ්ජාවේ බෑ......


කාලෙන් කාලේට අලුත් මුහුණු එන යන තැනක් තමයි කලා ක්ෂේත්‍රය කියන්නේ. ඒ අතර සමහර මුහුණු කාලයත් එක්ක ක්ෂේත්‍රයට  නැතිවම බැරි චරිත විදිහට ගොඩ නැගෙනවා.

අද දෙරණ ආලින්දය තුළින් ආරාධනා කරලා තියෙන්නේ පසුගිය දවස්වල මහත් ආන්දෝලනයකට ලක් වුණු ඒ වගේම වැඩිදෙනා අතර කතා බහට ලක්වුණු චරිතයක්. ඒ වගේම තමයි “සුපිරි අන්දරේ” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පොවන ඇය  ලක්ෂිකා සිරිවර්ධනයි. ඉතින් ලක්ෂිකා දෙරණ ආලින්දයට ආයුබෝවන් කියලා පිළිගන්නවා.

*  කොහොමද මේ දවස්වල ජීවිතය ගතවෙන්නේ?


මේ දවස්වල ජීවිතය ගොඩක් හොඳින් ගතවෙනවා. බොහෝම හොඳයි වරදක් නෑ.


*  ඒ කියන්නේ ඒ දවස්වල ජීවිතය හොඳ නැද්ද?

ඒ දවස්වල හොඳයි. ඒ දවස්වලට වැඩිය මේ දවස්වල ගොඩාක් හොඳයි.

*  ලක්ෂිකා  ඇත්තටම කලාවට මුලින්ම සම්බන්ධ වුණේ කොහොමද?


අහම්බෙන් වගේ පළමුවෙන්ම මං රංගනයෙන් දායක වුණේ. ප්‍රීතිරාජ වීරරත්නගේ “රශ්මි” කියන ටෙලි නාට්‍යයට. ඒක අහම්බෙන් වගේ තමයි මට හම්බ වුණේ. එතනින් පටන් ගත්තා. දැන් අවුරුද්දකට කිට්ටු වෙනවා ක්ෂේත්‍රයට ඇවිල්ලා.



* අද වෙනවිට කලා නිර්මාණ  ගණනාවම ඔස්සේ ලක්ෂිකා  පෙනී ඉඳළා තියෙනවා?

“සුපිරි අන්දරේ” චිත්‍රපටය තමයි මගේ පළමු චිත්‍රපටය. මේ දවස්වල ඒ චිත්‍රපටය තිරගත වෙනවා. එතකොට “රශ්මි” කියන ටෙලි ෆිල්ම් එක. ඊට අමතරව මේ දවස්වල වේදිකා නාට්‍යයක් කරගෙන යනවා. ඉදිරියේදී මට ටෙලි නාට්‍යය හතරකට විතර ආරාධනා ලැබිලා තියෙනවා. ගොඩක් හොඳ අධ්‍යක්ෂකවරුන් යටතේ. “රශ්මි” කියන ටෙලි නාට්‍යය තාම එළිදැක්වුයේ නෑ. දැනට ඒ වගේ ප්‍රමාණයකට විතරයි දායක වෙලා තියෙන්නේ. මං මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා තියෙන කාලය අනුව ඉදිරියේදී තමයි වැඩ අධික වෙලා තියෙන්නේ.


* “සුපිරි අන්දරේ” චිත්‍රපටය "මධුරි" නැමැති චරිතය ගැනත් මතක් කරමු?


මට හරිම සතුටුයි චරිතය ගැන. මොකද මම මුලින්ම රඟපාල මාස තුන හතරකට පස්සේ    නිළියක්  තෝරාගන්නවා කියලා එක ආරංචියක් ආවා. ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂක මිෂෙල් පෙරේරා. කොහොම හරි ඒකේදි නිළියක් තෝරාගෙන ඉවර වෙලා කුමක් හෝ හේතුවක් මත තව කෙනෙක් ඕන වෙලා‍. ඒකට   මං ගියා. කොහොම හරි මං එතනට ගියාම   එයාලා මාව අහම්බෙන් වගේ තමයි තෝරා ගත්තේ. කොහොම හරි මං මේ ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයක් තුළ මට චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් කරන්න හම්බ වුණා. ඊට අමතරව හොඳ අධ්‍යක්ෂකවරයෙක් යටතේ වැඩ කරන්න හම්බ වුණා. ඒ චිත්‍රපටයේ හොඳ පිරිසක් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් මං සතුටු වෙනවා. ටෙලිසන් කුරේ, සනෝජා බිබිලේ, තිස්ස  විජේසුරේන්ද්‍ර  වගේ  නළුවෙක් සමඟ රඟපාන්න ලැබුණා කියන්නේ මං මාර වාසනාවන්තයි. ඒ වගේ පරණ නළුවෙක් එක්ක මාලනී ෆොන්සේකා වගේ නිළි රැජිණියෝ එක්ක රංගනයෙන් දායක වුණ නළුවන් එක්ක  වැඩ කරන්න ලැබුණු එක ගැන. මොකද මගේ වයසත් එක්ක ඒක ඇත්තටම මට ලොකු සතුටක්. ඒ වගේම රොඩ්නි වර්ණකුලසුරිය මහතා සහ එකේ වැඩ කරපු පිරිස  ගොඩාක් හිටියා.  ඉතින් බොහෝම සතුටින් බොහොම  හොඳින් ඒ කාලය ගත කළා.



* "සුපිරි අන්දරේ" චිත්‍රපටයට ඔබ උපරිම සාධාරණයක් කළා කියලා ඔබ හිතනවාද?


ඔව් මං හිතනවා  මං හෙඳයි කියලා. නමුත් මම හිතන්නේ නෑ මම උපරිමයි කියලා. මගේ පළමුවෙනි චිත්‍රපටයත් එක්ක. නමුත් මගේ පළමුවෙනි චිත්‍රපටය විදියට  මම හිතනවා මම ඒ දේ හරියට කරා කියලා. නමුත් මට තව දේවල් හදාගන්න තියෙනවා. මට ඉදිරියේදී තව දේවල් ඉගෙනගන්න තියෙනවා. මගේ පළමුවන චිත්‍රපටය විදියට මං සෑහෙන්න දෙයක් කළා කියලා මං හිතනවා.

*   "සුපිරි අන්දරේ"  චිත්‍රපටයේ රූගත කිරීම් අවස්ථාවේදී සිදුවුණු අත්දැකීම් එහෙම ඇති ඒ ගැනත් මතක් කරමු?


අපි හැමදාම හොඳින් සතුටින් වැඩ කළා. සනෝජා අක්කියි මමයි තමයි එකට හැමදාම කාමරයේ පවා හිටියේ.  ඒ දවස්වල හරිම සීතලයි. අපි බණ්ඩාරවෙල තමයි රූගත කිරීම් කළේ. රෙදි ඔලුවේ ඉඳන් පෙරවගෙන නිදාගන්නවා. ඒ වගේම තලවකැලේදී සින්දුවක් කළා. කුඩැල්ලෝ එහෙම හිටියා. ඒ වගේ ගොඩාක් දේවල්  වුණා.  ඒ සිංදුව කරද්දි  අපි ලස්සනට බැලුවට. එතනදි අපි තලවකැලේ ගිහිල්ලා එහිම අමාරුවෙන් රූගත කිරීම්  කළේ.  අනිත් එක මට අමතක වෙන්නේ නැති සිද්ධිය තමයි. මං එදා කොට ගවුමක් තමයි ඇඳගෙන හිටයේ . අපි සින්දුව රූගත කරපු තැන පඩිපෙළ තියෙනවා. එතනට වැහැලා තිබුණේ. මං කන්ද උඩක ඉන්නකොට ටෙනි අයියා ඈත එනවා දැක්කා. අනිත් කට්ටිය නැගලා හිටියේ වෑන් එකටත්.  ඉතින් මං දැක්කා ටෙනි අයියාව ගොඩක් කට්ටිය වටකරගෙන ඉන්නවා‍ අත්සන් අරගන්න.  මම ලොක්කා වගේ පඩිවලින් බැහැලා යද්දි එක පාරටම මගේ සෙරප්පුව ලිස්සලා මාව වැටුණා.  මං යටට කලිසමක් ඇඳලා හිටියේ ගවුම උඩ ගියා. මට ලැජ්ජාවේ බෑ. මට හරියට අල්ලගන්න විදියකුත් තිබුණේ නෑ. ලිස්සලා වැටුණා.  ඉතින් ඊට පස්සේ  ටෙනි අයියා ළඟ හිටපු කට්ටිය ආවා දුවගෙන මාව උස්සන්න.  ටෙනි අයියාත් දුවගෙන ආවා ඒ වේලාවේ.  ඉතින් ඒ වගේ රසවත් මතකයන් එක්ක  අපි හිතනවා අපි චිත්‍රපටය ගොඩාක් හොඳට කරා කියලා.


* රූගත කිරීම් අතරතුරේදී කොච්චරනම් දුරට කූඩැල්ලන්ගෙන් කරදර වුණාද?

තලවකැලේ තමයි රූගත කිරීම් තිබුණේ. ටෙනි අයියයි මමයි විතරයි  එදා හිටියේ. අපි දෙන්නගේ සිංදුව රූගත කරන වෙලාවේ. කොහොම හරි කූඩැල්ලන්ගෙන් බේරිලා බොහෝම අමාරුවෙන් කරා ඉතින්.


* ක්ෂේත්‍රය ගැන ඇත්තටම මොකද හිතන්නේ?


ක්ෂේත්‍රය නරකනම් මං මේ තැනට එන්නේ නෑ.  මම දකින්නේ මං ඉන්න ක්ෂේත්‍රය බොහෝම හොඳ ක්ෂේත්‍රයක්. ඉතින් ඇත්තටම කෙනෙකුට ඉදිරියට යන්න පුළුවන් මේ ක්ෂේත්‍රය තුළින්.  තමුන්ගේ දක්ෂතාවය, වාසනවා තියෙනවා නම් අනිවාර්යෙන් තමුන්ට ඉහළට යන්න පුළුවන්. ඇත්තටම ක්ෂේත්‍රය ගැන කියන්න තරම් වරදක් නෑ. මම දකින්නේ බොහෝම හොඳ ක්ෂේත්‍රයක් කෙනෙකුට දක්ෂතාවය වාසනාව තුළින් ඉහළට යන්න පුළුවන් නම්.

* ලක්ෂිකා පසුගිය දවස්වල ඔබ සම්බන්ධයෙන් නොයෙකුත් කතා අපිට අහන්න ලැබුණා.  ඒ  වු සිද්ධින් සම්බන්ධයෙන් ලක්ෂිකාට අද උත්තරයක් දෙන්න පුළුවන්ද?

කතා ගොඩක් සම්බන්ධයෙන් නම් මං දන්නේ නෑ. නමුත් යම්කිසි කාරණයක් සම්බන්ධයෙන් කතාවක් පසුගිය දවස්වල ගියා.

* ඒ කතාව ඇත්තක්ද?

ඒ කතාව ඇත්තක්. ඇයි මං බොරු කියන්නේ. මෙහෙමයි මම ඒ කතාව නැවත කතා කරන්න සුදානම් නෑ. මොකද  මං දැන් ඒ දේවල් අමතක කරලා. මං මගේ  අනාගතය හදාගන්න වැඩ කටයුතු කරගෙන යනවා. නමුත්  ඔබ අහපු නිසා ඒ කතාව සත්‍යයක්. වෙබ් අඩවි වලින් සමහරක් තැන් වලදී  වැරදි තොරතුරුත් දාලා තිබුණා.  සමහරක් දේවල්. නමුත් එහෙම සිද්ධියක් වුණා. ඒක ඇත්ත‍ . ඒ පුද්ගලයින්ට ලැබිය යුතු දේවල් ඉදිරියේදී සිදුවෙනවා.




*   රංගනයේදී සීමා මායිම පනවාගෙන තියෙනවා?


මෙහෙමයි මං හරිම කැමති වෙනස්  චරිත කරන්න‍.  මට අවශ්‍ය වෙන්නේ නෑ ප්‍රේමවන්තියගේම චරිතය කරන්න.  ඒ වගේම ප්‍රධාන චරිතය කරන්න ඕන කියලත් නෑ. හැබැයි  යම්  කිසි චරිතයක් තියෙනවා නම් එකෙන් උපරිම කරන්න පුළුවන්නම් මට ඕන ඒ චරිතය කරන්නයි.  එතකොට මං ඒක බොහෝම ආසාවෙන්   බාරගන්නවා.  සමාජය තුළ තියෙන සීමා මායිම් තියෙනවා රංගනයේදී ඒ වගේමයි මං තුළත් සීමා මායාම් තියෙනවා ඒ දෙකම ගලපලා ඒ පිටපතට මං සාධාරණීකරණය කරන්න උත්සහ කරනවා.  යම්කිසි දෙයක් තියෙනවා නම් මට කරන්න අකමැති මං ඒ අධ්‍යක්ෂකවරයාට කියනවා.  අනිත පිටපතක් හදන්නේ නැහැනේ රූපවාහිනයේ හරි සිනමාහල්වල හරි පෙන්වන්න බැරිනම්.  ඒ නිසා පෙන්වන්න පුළුවන් ඕනම චරිතයක් මං කරනවා.  හැබැයි මං ළඟත් සීමා මායිම් තියෙනවා. පිටපත ගත්තාම  ඒ චරිතය මට කරන්න සුදුසුයි නම් මං ඒක කරනවා.

*    ඔබට හොඳ කලා නිර්මාණයක පිටපතක් කවුරුන් හෝ දෙනවා‍. නමුත් ඔබට ගෙවන මුදල ඉතාමත් සීමිතයි. එවිට ඔබ තෝරා ගන්නේ මුදලේ ඇති වටිනාකමද එසේත් නොමැතිනම් පිටපතේ ඇති ගුණාත්මකභාවයද?


අනේ එහෙමනම් නෑ.  සල්ලි ඕන නෑ  කියලා කියන්නෙත් නෑ. අද කාලේ සල්ලිත් ඕනන ඉතින්.  ජීවත් වෙන්න.  ඒ වුණාට මමනම් හිතන්නේ මම ඇවිල්ලා තියෙන දුර පොඩ්ඩයි. තව ඉදිරියට යන්න  තියෙන දුර ගොඩාක් තියෙනවා. ඉගෙනගන්න තියෙනවා.  ඒ නිසාවෙන් මට ලැබෙන චරිතය හොඳ චරිතයක් නම්. එකෙන් යම් කිසි දෙයක් කරලා පෙන්වන් පුළුවන් හැකියාවක් තියෙනවා නම්.   මට ලැබෙන්න තියෙන මුදලත් එක්ක  මධ්‍යස්ථව හිතලා. මං ඒක බාර ගන්නවා. මොකද මං වගේ අලුත් එක්කෙනෙකුට ඒක ගොඩක් වටිනවා.  මං හිතනවා මුදල් වලටත් වැඩිය මට ඒ චරිතය වටිනවා කියලා.  මොකද මගේ අනාගතය නිර්මාණය කර ගන්න මට ඒ චරිතයෙන් හැකි වෙනවා.



*  ජනප්‍රියවෙන්න වැදගත් වෙන්නේ වාසනාවද? දක්ෂතාවයද?

මං හිතනවා දෙකම අවශ්‍යයි කියලා.

*  ලක්ෂිකා ආදරය ගැන මොකද හිතෙන්නේ?

ආදරය හරිම සුන්දර දෙයක්. ඉතින් එක එක්කෙනාට ආදරය විවිධාකාර පුද්ගලයින්ගෙන් විවිධ විදියට  ලැබෙනවා.   ඉතින් ආදරය විවිධ විධියට අපිට දැනෙනවා.


* ලක්ෂිකාට ආදරය කරන විශේෂ කෙනෙක් ඉන්නවද?

මට  ඔක්කෝම විශේෂයි. මට ආදරය කරන හැම කෙනාම විශේෂයි.

* ‍දැන් එතකොට  ලක්ෂිකාට   පෙම්වතෙක්  ඉන්නවාද?

මට පෙම්වතෙක් ඉන්නවා.  ඒ ගැන ලොකුවට කතා කරන්න කැමති නෑ මම. ආදරය කරනවා අපි. ඉතින් අනාගතයේදී බලමු ඉතින්.



* මොන ක්ෂේත්‍රයේද ඉතකොට ඔබගේ පෙම්වතා නියැලෙන්නේ?

එයා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙකුත් නෙවෙයි.  එයා ගුවන් නියමුවෙක්.  ඒ දේවල් කරගෙන එයා ඉන්නවා. ඉතින් එයා මට ගොඩක් උදව් කරනවා.

* ලක්ෂිකා පවුලේ විස්තර ගැනත් මතක් කරමු?


මගේ පවුලේ අක්කිලා දෙන්නෙක් ඉන්නවා. අම්මියි තාත්තියි ඉන්නවා. අක්කිලා කසාද බැඳලා ඉන්නේ. මගේ අක්කිලට වඩා මං අවුරුදු 10ක් බාලයි. මං තමයි බාලම එක්කෙනා. අක්කිලාට බබාලත් ඉන්නවා.
 
* ලක්ෂිකා  අධ්‍යාපනය හැදෑරුවේ මොන පාසලේද?  

මම ගම්පහ රත්නාවලි බාලිකා විදුහලෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවේ.



* ඇත්තටම ලක්ෂිකා  කියන්නේ මොන වගේ චරිතයක්ද?

මෙහෙමයි එක එක්කෙනා එක එක විදියට මං ගැන නිර්වචනය කරනවා ඇති.    මං හිතන විදියට මං හරි හොඳ කෙනෙක්. හැබැයි මං ටිකක් වසයි. ඇත්තම කිව්වොත්.  මං අසාධාරණය වෙනුවෙන් කතා කරනවා. ඒ හින්දා මට එක එක කතාත් හැඳෙනවා. එහෙම කතා හැදුනා කියලා මං අසාධාරණය වෙනුවෙන් කතා නොකර ඉන්නේ නෑ‍.  මනුස්සයෙක්ව මගේ හිතට ඇල්ලුවොත් මං ගොඩාක් හොඳයි. ඒ අයට මං හරිම ආදරෙයි. හැබැයි යම් කිසි පුද්ගලයෙක් මට කුමක් හෝ අසාධාරණයක් කළොත් මගේ ජීවිතයටවත් කතා කරන්නේ නෑ‍. අන්න ඒ වගේ චරිතයක් තමයි මං.




* මේ හැමදේමත් එක්ක ලක්ෂිකා  මේ දක්වා පැමිණි ගමනේ දී උදව් කරපු පිරිසක් ඇතිනේ. අවස්ථාව තියෙනවා ඒ අයට ස්තූති කරන්න?


අනිවාර්යෙන් ස්තූති කරන්න ඕන. විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන මාව මේ ක්ෂේත්‍රයට ගත්තේ ප්‍රීතිරාජ වීරරත්න මහතා. එයා තමයි මාව ටෙලි නාට්‍යයකට තෝරාගෙන ඇත්තටම මට තාත්තා කෙනෙක් වගේ මගේ පිටිපස්සෙන් ඉඳලා මට අවවාද දීලා, මං අද යම්කිසි තත්ත්වයක ඉන්නවා නම් ඒ ඔහු නිසාවෙන්. ඒ නිසා මං ආදරයෙන් සහ ගෞරවයෙන් ඔහුව  මතක් කරනවා. ඊට පස්සේ මිචෙල් ෆොන්සේකා "සුපිරි අන්දරේ" චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා. එතන වැඩ කරපු කණ්ඩායම ඇතුළු පිරිසට මං ස්තූතිවන්ත වෙනවා.  ඔවුන් අද මාව "සුපිරි අන්දරේ චිත්‍රපටයට තෝරා ගත්ත නිසා තමයි මං අද මේ ඉන්න තැන ඉඳළා කියන්න පුළුවන් දෙයක් මා තුළ තියෙන්නේ. ඉතින් ඒකට මං ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මිචෙල් අයියාට. ඒ වගේම අපි දැන් වේදිකා නාට්‍යයක් කරනවා ඉතින් ඒකේ වැඩ කරන ඔක්කෝටම  මට දක්වන සහයෝගය වෙනුවෙන්  සියලුම දෙනාට ස්තූති වන්ත වෙනවා.  ඒ වගේම ඉස්සරහට වැඩ ගොඩකට කතා කරලා තියෙනවා. විශේෂයෙන් මතක කරන්න ඕන “සුපිරි අන්දරේ” ත්‍රපටයේ ටෙනිසන් කුරේ මහතා, සනෝජා අක්කිව, සනෝජා අක්කි මට ගොඩාක් අවවාද දුන්නා. ඇත්තටම එයා මගේ අක්කා කෙනෙක් වගේ. මට ඕනම දෙයක් අහන්න වුණෝතින් සනෝජා අක්කිගෙන් තමයි අහන්නේ.  එයා මට ගොඩාක් සමීප කෙනෙක්. එයාවත් මතක් කරනවා මං. ඒ වගේම මගේ අම්මා, තාත්තා, අක්කලා දෙන්නා මොන ප්‍රශ්නේ ආවත් එයාලා මගේ පස්සේ ඉඳළා මාව විශ්වාස කරලා. මාව ධෛර්ය සම්පන්න කරලා. මට කෙලින් හිටගන්න ශක්තිය ධෛර්ය දුන්නාට එයාලට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.


MOST VIEWED VIDEO STORIES

MORE >>