Back to Top

ඒකේ අමුතු තෘප්තියක් තියෙනවා...

September 19, 2012  

ඒකේ අමුතු තෘප්තියක් තියෙනවා...

පුංචි තිරයේ රංගන ශිල්පිණියක ලෙස ප්‍රේක්ෂකයින් අතර වැඩි ජනප්‍රියත්වයක් හිමිකර ගත් ඇය "සිහින පුරය" ටෙලිනාට්‍යයේ හිමාෂිගේ චරිතයට පණ පොවයි. කෙළිලොල් බවින් යුතු අපූරු යුවතියක වන සැණකෙළියයි මායාහි වින්දි ද ඇයයි.


රංගනය ඇගේ ජීවිතය හා අපූරුවට ඈඳී තිබෙන්නේ පියාගේ අභාෂයෙන්යැයි ඇතැමෙකු සිතන්නේ ඇය ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතාගේ දියණිය වන නිසාවෙන්මය.


අද ආලින්දය තුළින් ඔබ අප හා සොඳුරු පිළිසඳරක යෙදෙන ඇය නමින් ප්‍රතිභා හෙට්ටිආරච්චි....

 


සම්පූර්ණ නම


ප්‍රතිභා සමාධිනී හෙට්ටිආරච්චි

 

උපන්දිනය


අප්‍රියෙල් 23

 

ලග්නය


මිථුන

 

පදිංචිය


නාවල, කොස්වත්ත



1) ප්‍රතිභා මේ ආලින්දය සමඟ එකතු වෙන්නේ දෙවන වතාවට. ගිය වතාවට වඩා අද වෙද්දි ජීවිතයේ ලොකු ලොකු වෙනස්කම් කිහිපයක් සිද්ධ වෙලා තියෙනවා. අපි කතාව එතනින් පටන්ගමු....


වෙනස්කම් කියන්නේ මගේ රංගන ජීවිතයේ ලොකු වෙනස්කමක් සිද්ධවුණා මේ අවුරුද්දේ. ඒ මම කරපු සැණකෙළියයි මායා චරිතයට රයිගම් සම්මාන උළෙලේ හොඳම සහය නිළිය සම්මානයත් ඕ.සී.අයි.සී.සම්මාන උළෙලේ හොඳම සහය නිළිය සම්මානයත් හම්බවුණා. ඒක මගේ රංගන ජීවිතයට ලොකු වෙනසක්. ඇත්තටම කිව්වොත් මේ අවුරුද්ද මට සුභයි.

 

2) පසුගිය සිග්නීස් සම්මාන උළෙලේ දී නිර්මාණශීලී සහය නිළියට හිමි සම්මානයත් හම්බවෙනවා. ලේසියෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වෙනුවෙන් ලොකු කැපකිරීම් කිහිපයක් කරා. අපි ඒ ගැන කතා කළොත්....


මං රංගනයට එන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙමෙයි. මං හිතන්නේ පුංචි කාලේ ඉඳන් දැකපු දේවල් එක්ක හිතේ පොඩි ආසාවක් තිබ්බා. ඉතින් මං පාසල් වේදිකාවට සම්බන්ධ වුණා. ඊට පස්සේ දයානන්ද ගුණවර්ධනයන්ගේ නරි බෑණා වේදිකා නාට්‍යයේත් දැනට මං එදිරිවීර සරත්වන්ද්‍රයානන්ගේ කදා වළළු වේදිකා නාට්‍යයේත් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේ වේදිකා නිර්මාණත් එක්ක තමයි මං ආවේ. වේදිකාවෙන් ආපු එක ඇත්තටම මට ලොකු පන්නරයක්. ටෙලි නාට්‍ය මාධ්‍යට වඩා වේදිකාව හරි වැදගත් රංගන ශිල්පිනියකට. ඉතින් ඒ දේවල්වල සාර්ථකත්වයක් තියෙනවා කියලා හිතුණා ඔය සම්මාන දෙක ලැබුණට පස්සේ.

 

3) පවුලේ තොරතුරු....


තාත්තා ගාමිණී හෙට්ටිආරච්චි. රංගන ශිල්පියෙක්. මව ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා ගුරුවරියක් වගේම ඇයත් රංගන ශිල්පිණියක්. මගේ සහෝදරයා ශක්ති හෙට්ටිආරච්චි. මාධ්‍ය සම්බන්ධ දේවල්වල නිරතව ඉන්නවා. ගීත රචකයෙක්. මේ පාර දෙරණෙන් අයියට සම්මානයක් හම්බුණා සින්දුවක දෘෂ්‍ය සංකලනයට. ඕව තමයි ඉතින් පවුලේ තොරතුරු.

 

4) රංගන කටයුතුවලට පවුලේ අයගෙන් ලැබෙන ස‍හයෝගය....


ලොකු සහයෝගයක් ලැබෙනවා. මුලින් අම්මා පොඩ්ඩක් අකැමැත්තෙන් හිටියා මං රංගනයට ඇවිල්ලා අධ්‍යාපනය කඩාකප්පල් කරගනියි කියලා. ඒත් පසුව මං මගේ උපාධිය සම්පූර්ණ කරගත්තට පස්සේ ඇය මට ලොකු සහයෝගයක් දෙනවා. අයියා තමයි මගේ ලොකුම රසිකයා. අයියගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේමයි තාත්තත්. ඉතින් ඒගොල්ලොත් ඒ පසුබිමේ ඉන්න නිසා මට හිතනවා මගේ නිර්මාණවල චරිත සාර්ථක කරගන්න ලොකු උදව්වක් වුණා කියලා.

 

5) රංගන ශිල්පිනියක්, ගුරුවරියක්, නිවේදිකාවක් ‍ලෙස කටයුතු කරන ඔයාගේ වෘත්තීය මොකක්ද?


පොඩි කාලේ ඉඳන්ම මං කැමැත්තෙන් හිටියේ ගුරුවරියක් වෙන්න. මං රංගනයට අකැමැතියි කියනවා නෙමෙයි. නමුත් ළමයෙක්ට දෙයක් උගන්නලා ඒක එයාට තේරෙනකොට ඒකේ අමුතු තෘප්තියක් තියෙනවා. රංගනයේ තියෙන්නේ වෙනම තෘප්තියක්. ඔය තුනෙන්ම ගත්තොත් ගුරු වෘත්තියට මං ගොඩක් ආසයි.

 

6) ක්ෂේත්‍රයට දිනෙන් දින නවක මුහුණු කළ එළි බහිනවා. ඒත් ඒ අයගේ පැවැත්ම තාවකාලිකයි. ඒකට මොකක්ද ඔයා දකින හේතුව?


ඇත්තටම රංගන ක්ෂේත්‍රය කියන්නෙත් හැදෑරිය යුතු එකක්. ඒක තමයි පැවැත්ම කියන එක නැත්තේ මට හිතෙන විදිහට. විශේෂයෙන්ම වේදිකාවෙන් එන රංගන ශිල්පීන්ගේ ශිල්පිණියන්ගේ යම් වෙනසක් තියෙනවා අපි ටෙලි නාට්‍ය තුළින් දැක්කමත් අනිත් අයට වඩා. මොකද අපිට රංගන පාසල් නැති වුණත් වේදිකාවෙන් ගොඩක් දේවල් ගන්න පුළුවන් රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිණියකට. ඉතින් ඒ හැදෑරීමක් නැතුව කෙළින්ම ජනප්‍රියවෙන්න නිර්මාණවලට යෙදෙන හින්දා තමයි ඔය පැවැත්ම ප්‍රශ්නය එන්නේ. කොච්චර කාලයක් මේ කෙනා මේකෙ රැඳිලා ඉන්නවද කියන එක තීරණය වෙන්නේ.

 

7) හිතෙන විදිහට රංගන ශිල්පීන්ට නිතර දෙවේල් කටකතා හැදෙන්නේ ඇයි?


කටකතා කියන එක රංගන ශිල්පීන්ටම නෙමෙයි. මම රංගන ශිල්පිණියක් වගේම විශ්ව විද්‍යාලයක උගන්වනවා. ඉතින් මම මේ ක්ෂේත්‍ර දෙකේම ඉන්න නිසා කියන්නේ රංගන ශිල්පීන්ටම විතරක් නෙමෙයි. තමාගේ තියෙන හැසිරීම නිසා හෝ වෙනයම් අයගේ තියෙන එක එක ප්‍රශ්න නිසා බොරුවට කටකතා හදනවා. හැමෝටම ඔය දේවල් තිබුණත් මිනිස්සු රංගන ශිල්පීන් ගැන හොයන්න බලන්න උනන්දුව වැඩියි. ඒවත් එක්ක මේවා ගොඩක් පැතිරිලා යන එක වගේමයි තාක්ෂණයත් මේකට ගොඩක් ලොකු බලපෑමක් කරලා තියෙනවා කියලයි මට හිතෙන්නේ. ඉස්සරනම් කියනවා ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලා. නමුත් තියෙන තාක්ෂණයත් එක්ක මිනිස්සුන්ට පුළුවන් වෙලා තියෙනවා ගින්නක් නැතුව දුම හදලා පෙන්නන්න.‍ ඉතින් ඒ හින්ද තමයි ඔය ප්‍රශ්නය එනවා ඇත්තේ. 

 

8) සමහරු ඉන්නවා කටකතාවකින් හරි කමක් නැහැ ජනප්‍රිය වෙනවානම් කියලා හිතන. ඒ ගැන මොකද හිතෙන්නේ?


මමනම් එහෙම නෑ. මොන දෙයක් හරි කරලා ජනප්‍රිය වෙනවා කියන මතයේ මම නැහැ. ඇත්තටම හොඳ දෙයක් කරලා ජනප්‍රිය වෙන එක හරි. නමුත් කුමන දෙයක් හෝ කරලා ජනප්‍රිය වෙනවා කියන මතයේ මම නැහැ. අනික ඒවා හරිම තාවකාලිකයි.

 

9) රංගන ශිල්පිණියක විදිහට පෞද්ගලික තොරතුරු සමාජගත වීම සාමාන්‍ය දෙයක්. ඒ වගේ දෙයකින් ඔබට සිදුවුණු අකරතැබ්බයක තොරතුරු දැනගන්න කැමතියි.


මට එහෙම වෙලා නැහැ.

 

10) අපි සාමාන්‍යයෙන් අම්මා හරි තාත්තා හරි දිහා කෙළින් බලලා කතා කරනවානේ. ප්‍රතිභාත් එහෙමද බලන්නේ?


ඔව්

 

11) ඇයි එතකොට පුටුව යට ඉඳගෙන තාත්තාගේ රූපෙ බලන්න පුරුදු වුණේ පොඩි කා‍ලේ?


ඒ මං පොඩි කාලේ වෙච්ච දෙයක්. තාත්තාගේ දඩබිම ටෙලිනාට්‍ය විකාශය වෙනකොට. ඒකේ තාත්තා හරි විරූපියි. තාත්තා කළේ මන්ද බුද්ධික චරිතයක්. ඉතින් ඒක මම පුටුව යට ඉඳලා තමයි බැලුවේ සහ නාට්‍ය ඉවර වුණාම මම අනිවාර්යයෙන්ම අඬනවා තාත්තා කැතයි කියලා. ඉතින් ඒක තමයි ඔය කියන්නේ.

 

12) ගීත ගායනා කිරීමේ හැකියාවක් තියෙනවා....


එහෙම හිතනවා.

 

13) ඇත්තටම ප්‍රතිභා හෙට්ටිආරච්චි කියලා කියන්නේ මොන වගේ චරිතයක් ද?


මම සරලව සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් සහ ලොකු බලා‍පොරොත්තු නැති කෙනෙක්.

 

14) ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න මොනවාද ඕන කරන්නේ?


ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න නම් හැදෑරීමක් කළ යුතුයි සහ අපේ රටේ වගේම වෙනත් රටවල හොඳ නිර්මාණ අපි බලන්න ඕන. මගේ මව නාට්‍ය හා රංග කලා ගුරුවරියක් නිසාත් තාත්තා රංගන ශිල්පියෙකු නිසාත් ඒ දේවල් ගෙදර කතා කෙරෙනවා. නිර්මාණයක් බැලුවත් අනිවාර්යයෙන්ම ඒ නිර්මාණය ගැන ගෙදර පසුකතාවක් සිද්ධවෙනවා. ඕනම ක්ෂේත්‍රයකින් ඉදිරියට යන්න හැදෑරීමක් කළ යුතුමයි.

 

15) ඕනම කෙනෙකුගේ ජීවිතයකට සහකරුවෙක් ඕන. ගියපාරත් මේ ගැන කතා කරා. නමුත් නිසි උත්තරයක් ගන්න හම්බවුණේ නෑ. මේ පාරත් එහෙම්මමද?


ඔව්නේ. මේ පාරත් එහෙම්මමයි. මගේ ජීවිතයට එහෙම කවුරුත් එකතු වුණේ නැහැ.

 

16) ඔයාගේ සහකරුවා වෙන්න ඕන මොන වගේ කෙනෙක්ද?


අනිවාර්යයෙන්ම මං හිතන්නේ මාව තේරුම් ගත්ත කෙනෙක් විය යුතුයි. කලාවට ආදරය කරන සහ කලාව පිළිබඳව පොඩි අවබෝධයක් තියෙන්න ඕන. උගත් කෙනෙක් විය යුතුයි.

 

17) ඉතින් ඔය කියන සුදුසුකම් තියෙන පිරිස් සමාජයේ ඉන්නවා. ඇයි තාම කෙනෙක් හොයා ගත්තේ නැත්තේ? බලාපොරොත්තු වෙන්නේ ආදරයකින් විවාහ වෙන්නද? ගෙදරින් ගේන යෝජනාවකින් විවාහ වෙන්නද?


ගෙදරින් ගේන යෝජනාවකින් විවාහ වෙන්න.

 

17) ජීවිතයේ මේ වෙනකන් වැරදුණු හරි පසුතැවෙන්න වුණු හරි අවස්ථාවක් නැද්ද?


එහෙම තැනක්නම් නැහැ. වැරදිලා ඇති. නමුත් මම ඒ දේවල් ගැන පසුතැවිලි වෙන්නේ නැහැ.

 

18) අනාගත බලාපොරොත්තු මොනවාද?


දැනට පටන්ගෙන තියෙන කටුබැද්දේ විශ්ව විද්‍යාලයේ මූල්‍ය ගණිතයෙන් කරන ඉගෙනීම් කටයුතු ඉවර කරගන්න එක තමයි දැනට තියෙන ලොකුම බලාපොරොත්තුව. වෙන ලොකු බලාපොරොත්තු නෑ...

 

19) ඒ කියන්නේ ප්‍රතිභා සමාධිනී හෙට්ටිආරච්චි වෙනදේ සුභයි කියලා භාරගන්න කෙනෙක්?


ඔව්

 

20) ජීවිතයේ මුල් තැන දෙන්නේ අදහන ආගමට ද? රංගනයට ද? අධ්‍යාපනයට ද?


අදහන ආගමට (බෞද්ධ)

 

21) රංගන ක්ෂේත්‍රය තුළ රංගන කටයුතුවලට වැඩියෙන්ම සහයෝගයක් ලැබෙනවා කියලා හිතන්නේ මොන රංගන ශිල්පියාගෙන්ද?


සරත් කරුණානත්න, හර්ෂණ බෙත්මගේ

 

22) නිර්මාණයක දී වඩා වැදගත් වෙන්නේ මුදල් ද? චරිතයේ ස්වභාවය ද? එකිනෙකා එක්ක තියන දැන හැඳුනුම්කම ද?


චරිත ස්වභාවය

 

23) ඒ කියන්නේ ප්‍රතිභා හෙට්ටිආරච්චි කියන චරිතයට මූල්‍යමය වටිනාකමක් නැද්ද?


ගොඩක් රංගන ශිල්පීන් රංගනයේ යෙදෙන්නේ වෘත්තීමය වශයෙන්. ඒත් මගේ වෘත්තීය රංගනය නෙමෙයි. ඒ නිසා මම එන හැම නිර්මාණයක්ම භාර ගන්නේ නැහැ. තෝරලා බේරලා කාලයත් බලලා තමයි නිර්මාණයකට දායක වෙන්නේ. එතන දී මට වඩාත් වැදගත් වෙන්නේ චරිතයේ ස්වභාවයයි.


24) වැඩි මුදලකට දේශපාලන පක්ෂයක් වෙනුවෙන් සැකසුණු නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් භාර ගන්නවාද?


නෑ

 

25) වඩා සැළකිලිමත් වෙන්නේ රූපය ගැන ද? විලාසිතා ගැන ද? තමන්ගේ තත්ත්වය ගැන ද?


රූපය ගැන

 

26) ක්ෂේත්‍රයේ ශිල්පිණියන් අතරින් වඩාත්ම ප්‍රිය කරන්නේ කවුද?


චාන්දනී සෙනෙවිරත්න මහත්මිය

 

27) ක්ෂේත්‍රයේ කාගෙන් හරි මංගල යෝජනාවක් ලැබුණු අවස්ථාවක් තියෙනවාද?


නෑ

 

28) මෙගා ටෙලි නාට්‍ය උචිතයි ද? නැද්ද?


උචිතයි

 

29) ඇයි එහෙම හිතන්නේ? මෙගා ටෙලි නාට්‍ය දීර්ඝ කාලයක් විකාශය වීමෙන් කාලය නාස්ති වෙනවා. සුළු සුළු ටෙලි නාට්‍යවලට තියෙන තැන නැති වෙනවා වගේ එක එක චෝදනා එල්ල වෙනවා. උගත් හොඳ පවුල් පසුබිමක් තියෙන රංගන ශිල්පිණියක් වෙන කෙනෙකුගෙන් හොඳ සාධාරණ පිළිතුරක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා හිතනවා.


මෙගාද කොටස් ටෙලි නාට්‍යයක් ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. නිර්මාණයේ සාර්ථකත්වයයි. ඒ කාලෙත් මෙගා කියලා ටෙලි නාට්‍ය නොගියට කොටස් 350 ක් විතර තිබුණ ටෙලි නාට්‍ය බිහිවුණා. මිනිස්සු ඒවා ආසාවෙන් බැලුවා. අදාට වඩා අද තියෙන වෙනස වෙන්නේ එදා රූපවාහිනී නාලිකා ගොඩක් තිබුණේ නැහැ. ඒත් අද වෙද්දි රූපවාහිනී නාලිකා ගොඩක් තියෙනවා වගේමයි ඒවල ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයක් විකාශනය වෙනවා. එතන දී සිද්ධ වෙනවා තෝරා බේරා ගැනීමක් කරන්න. ඉතින් ටෙලි නාට්‍ය මෙගාද නැද්ද කියන දේ නෙමෙයි ටෙලි නාට්‍ය නිර්මාණයෙන් මිනිස්සුන්ට යම් වින්දනයක් සහ සමාජයට යම් පණිවිඩයක් දෙනවානම් මං හිතන්නේ ඒකේ කිසි ගැටලුවක් නැහැ.

 

30) ප්‍රතිභා දායකවෙන්න හිටපු මොකක් හෝ නිර්මාණයකින් ඉවත් වෙන්න කියලා කවුරු හරි ඉල්ලීමක් කරොත් ඒක භාරගන්නවාද?


භාරගෙන මම එහෙම කරලත් තියෙනවා. මම දායක වෙන්න හිටපු නිර්මාණවල ඈත පළාත්වල රූගත කිරීම් තිබුණ නිසා ඒවා භාරනොගත්ත අවස්ථා තියෙනවා.

 

31) ජීවිතයේ වැඩියෙන්ම වැදගත් වෙන පුද්ගලයා කවුද?


මගේ අයියා

 

අද වෙනකම් මේ ආපු කලා ගමන තුළ ස්තූති කරන්න පිරිසක් ඉන්නවානේ. මේ ඒකට අවස්ථාව


මුලින්ම ස්තූති කරන්න ඕන මගේ අම්මටයි, තාත්තටයි, අයියටයි. ඒ වගේමයි මාව මුලින්ම ක්ෂේත්‍රයට හඳුන්වලා දුන්නේ රවින්ද්‍ර විජේරත්න මහතා සහ තරංග දිසානායක මහතාටත්, මගේ මේ සම්මානයට ගොඩක් උදව් කරපු නාට්‍යයේ අධ්‍යක්ෂක රෙජිනෝල්ඩ් ජයමාන්න අයියත් චාන්දනී සෙනෙවිරත්න නැන්දා, පාලිත මාමා, පබෝදා අක්කි, බිමල් අයියා කියන අයට ස්තූති කරන්න ඕන.

 

 

 

MOST VIEWED VIDEO STORIES

MORE >>