ආණ්ඩුවේ දෙබිඩිබව පෙන්වන හොඳ අවස්ථාවක්
May 13, 2012
ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලය පසුගිය 9වැනිදා පස්වරුවේ ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී රැස්වුණා.
මෙහිදී සාම්පූර් බලාගාරය ඉන්දියාවට පවරාදීමත් පළාත් සභා මැතිවරණ කැඳවීමත් විදේශ
අමාත්‍යවරයාගේ ඇමරිකානු සංචාරය පිළිබඳවත් මූලික වශයෙන් අවධානයට ලක්වුණා.
මෙහිදී අදහස් දැක්වූ ජ.වි.පෙ. නායක සෝමවංශ අමරසිංහ මහතා"ආණ්ඩුව සාම්පූර් බලාගාරය
වෙනුවෙන් ඉන්දියාවට සම්පූර්ණයෙන් දණ ගහලා. බලාගාරය සඳහා වසර 25ක කාලයක් වෙනුවෙන්
ආණ්ඩුවට අය විය යුතු ආදායම් බදු, ජාතිය ගොඩනැගීමේ බදු, නිෂ්පාදන බදු, ලාභාංශ මත බදු,
රඳවාගැනීමේ බදු, රේගු බදු ආදී සියලූම බදුවලින් ඉන්දියාව නිදහස් කර තිබෙනවා. මේක ඉන්දියාවට
ආණ්ඩුවේ ගැතිකම ප‍්‍රදර්ශනය කරන අවස්ථාවක් විතරක් නෙමෙයි. රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය
ඉන්දියාවට උකස් කිරීමක්"යයි කියා සිටියා.
" මේ වෙන කොට ආණ්ඩුව ඛනිජතෙල් කැණීම ඉන්දියාවට දීලා. ගබඩා කිරීමේ, බෙදාහැරීමේ කොටසක් ඉන්දියාවට පවරලා තියෙනවා. පහුගියදා ඉන්දියාව සපුගස්කන්ද පිරිපහදුවත් ගන්න බලන්න ආවා. රටේ සමස්ත බලශක්ති ක්ෂේත‍්‍රයම ඉන්දියාවට
පවරලා. මේකෙන් ආණ්ඩුව බලන්නේ ඉන්දියාව සතුටු කරලා සහය ගන්නයි. ඒත් ඒක කවදාවත් වෙන
දෙයක් නෙමෙයි." එයට එකතු කිරීමක් කළ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කිව්වා.
ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කතා කරමින්,"අපි මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධය පළ කළා.
ඒ වගේම ඉන්දියාවට දෙමළ ජනතාව ගැන තියෙන්නෙ කිඹුල් කඳුළු බව සාම්පූර්වලදි හරිම පැහැදිලියි.
බලාගාරය ඉදිකෙරෙන භූමියේ පවුල් 530ක් ඉවත් කරලා. අවට තවත් පවුල් 1242ක් ඉවත් කරන්න
යනවා. මුල් පවුල්වල දහස් ගාණක් දැන් අවුරුදු 06ක් තිස්සේ කඳවුරුවල දුක්විඳිනවා. ඉන්දියාව ඒ ගැන
වචනයක්වත් කතා කරන්නෙ නැහැ."අවධාරණය කළා.
මීළඟට ආණ්ඩුවේ මැතිවරණ සූදානම ගැන සාකච්ඡා කෙරුණා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක
මහතා කිව්වේ ජනතාව ඉල්ලන්නේ මැතිවරණ නොව අඩු මිලට බඩු ගැනීමට අවස්ථාව බවයි."
ආණ්ඩුව තමන්ට එල්ලවන මහජන විරෝධය මගඅරින්න නියමිත කාලයට කලින් පළාත් සභා මැතිවරණ
ගේන්න හදනවා. මේ වැඬේම කලිනුත් කළා. මුළු රාජ්‍ය බලය, මැර බලය, රජයේ අරමුදල් දාලා විකෘති
ජනමතයක් තමන්ට තිබෙන බව පෙන්වන්නයි මේ හදන්නේ." ඔහු කිව්වා.
"ආණ්ඩුව වෙසක් ලබන්න කලින් දවසෙ ? කිරි පිටි ගෑස්, සිමෙන්ති මිල විශාල වශයෙන් වැඩි කළා. වෙසක් වගේ ආගමික
උත්සවයක වැදගත්කමත් ආණ්ඩුව පාවිච්චි කරන්නේ මිනිස්සුන්ගෙ බඩට ගහන්න. ඇත්තම ගත්තොත්
කිරිපිටි කිලෝවකට ආණ්ඩුව වැඩිකළේ රු. 92ක බද්දක්. එත් මිල රු. 163කින් වැඩිවුණා. රුපියලේ
බාල්දුවයි, ආණ්ඩුවේ සැඟවුණු බදුයි, සමාගම්වල වැඩි ලාබයයි ඔක්කොම මිනිස්සුන්ගෙ කර උඩට. ඒත්
කියන්නේ දේශීය කිරි ගොවියා ආරක්ෂා කර ගන්න කියලා. ඒක අමූලික බොරුවක්’’ සාකච්ඡාවට එකතු
වුණු ලාල් කාන්ත මහතා කියා සිටියා.
ජී.එල්. පීරිස් විදේශ ඇමතිවරයාගේ ඇමරිකානු සංචාරය ගැන ද එහිදී අවධානය යොමු වුණා."ලබන
18වැනිදා ලංකාවේ යුද ජයග‍්‍රහණ ගැන ගෝල්ෆේස් එකේ සංදර්ශන තියනකොට ජී.එල්. රහසෙ හදපු
ක‍්‍රියාකාරී සැලැස්මෙ හරි වැරදි හිලරි එක්ක කතා කරනවා. මේක ආණ්ඩුව දෙබිඩි බව පෙන්වන හොඳම
අවස්ථාවක්."සෝමවංශ අමරසිංහ මහතා කිව්වා.
"ඇමරිකාව කියලා තියෙන්නෙ සැලැස්ම රහසෙ ගේන්නෙ නැතුව ප‍්‍රසිද්ධ කරලා ගෙන්න කියලලූ. ඒත් ආණ්ඩුව මහජන විරෝධයට ලක්වෙයි කියලා එහෙම කරන්න බයෙන් ඉන්නෙ. ජිනීවාවල එක්සත් ජාතීන්ගෙ ශ‍්‍රී ලංකා තානාපති කුනානායගම්
මහත්මිය අයින් කරන්නෙත් ඇමරිකාව සතුටු කරන්න. කොහොම හරි ඇමරිකාව සතුටු කරලා
බේරෙන්න පුළුවන්ද කියලයි ආණ්ඩුව බලන්නෙ."විජිත හේරත් මහතා පෙන්වා දුන්නා.
මීළඟට අවධානයට ලක්වුණේ, වර්ධනය වන දේශපාලන තත්ත්වයන්ට අනුව පක්ෂයේ දේශපාලන
ක‍්‍රියාකාරිත්වය සකස්කර ගැනීම පිළිබඳවයි."ආණ්ඩුව එන්න එන්නම මහජනතාව පීඩාවට පත් කරමින්
ඉන්නවා. ඒත් මිනිසුන්ගේ විරෝධය තවමත් එක ගමනකට එකතු වෙලා නැහැ. ඉක්මණින්ම පක්ෂයේ
දිස්ත‍්‍රික්, ආසන සංවිධාන මේ මහජනතාව සංවිධානය කර ගැනීම සඳහා ශක්තිමත් කළ යුතුයි."ටිල්වින්
සිල්වා මහතා අවධාරණය කළා.
"සති හයේ මහජන මෙහෙයුම සාර්ථක කරගන්න උපරිම ශක්තිය යොදවන්න ඕනෑ. ජනමතය ඩෝසර් කරන කෑලි ඡන්දවලට එරෙහිව ජනතාව සංවිධානය කළ යුතුයි.ධනවාදී රටවල් දැවැන්ත අර්බුදයකට යමින් ඉන්න නිසා මේ ආර්ථික අර්බුදයට ධනවාදයට උත්තර
නැති බව ජනතාවට එත්තු ගන්වන්න පහසුවෙයි. පත‍්‍රිකා බෙදීම්, කුඩා ජනහමු, ගෘහස්ථ සාකච්ඡා,
රැස්වීම් මගින් අපේ පණිවිඩය වැඩි ජනතාවක් අතරට ගෙනියන්න උත්සාහ කරමු."අනුර දිසානායක
මහතා අවසාන වශයෙන් පැවසුවා.