Back to Top

ඇත්තටම මම පෙම්වතියක් නෙමෙයි...

April 25, 2011  

ඇත්තටම මම පෙම්වතියක් නෙමෙයි...

(පුංචි තිරයේ රංගන ශිල්පිණියක, ප්‍රේක්ෂක ආදරය දිනාගත් කලා ශිල්පිණියක අද දෙරණ ආලින්දය සමග මෙවර කතාබහට එක්ව සිටියි. පසුගිය දිනවල ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ"ආදරණීය පූර්ණිමා" ටෙලි නාට්‍යය ඇයගේ රංගන දායකත්වය ලද නාට්‍ය නිර්මාණයකි. නිවේදිකාවක ලෙස සිය කලා ජීවිතය ඇරඹි ඇය පසුව සිනමා රංගනයටද එක්විය. එමෙන්ම නර්තනය හා ගායනය තුළින් ද ඇය සිට කලා ප්‍රතිභාව ඉදිරිපත් කිරීමට සමත්විය. ඇය නමින් හිමාලි සයුරංගි ය. )

*සම්පූර්ණ නම

හිමාලි සයුරංගි රණවීර

*උපන්දිනය

ජූලි 18

*ලග්නය

කන්‍යා

*උස

අඩි 05 අඟල් 04

*ඔබේ සිහිනය

සිහින දකින්නේ නෑ

*හිමාලි, කලා කටයුතු පැත්තෙන් ඔබ මේ දවස් වල ටිකක් විතර නිහඬයි නේද?

නිර්මාණ වලට දායකත්වය ලබාදුන්නා. නමුත් ඒවා විකාශය වෙන්න කාලයක් යනවා. සමහර විට ඒ නිර්මාණ එකම කාලයක විකාශය වෙන්නත් පුළුවන්. මේ දවස්වල නම් මගේ විකාශය වෙන නාට්‍යයක් නැති තරම්. හොඳ නාට්‍ය නිර්මාණ කිහිපයකට දායක වෙලා තියෙනවා. ඒවා ඉදිරියේදී විකාශය වෙයි.

*කලා කටයුතු හැරුණුවිට මේ වනවිට ඔබ වෙනත් ක්ෂේත්‍රයකටත් වෘත්තීය හෝ වෙනත් අංශයකින් දායකත්වය ලබාදීලා තිබෙනවාද?

මම කවදාවත් කලාව හැරුණු විට වෙනත් වෘත්තියක යෙදිලා නෑ. මම වෘත්තීයමය වශයෙන් මුලින්ව අවතීර්ණ වුණේ නිවේදන කලාවට. ඊටපස්සෙයි මම රංගනයට එකතු වුණේ. දැන් මම රංගන කටයුතු ආරම්භ කරලා අවුරුදු 05 ක් විතර වෙනවා. මගේ වෘත්තිය බවට පත්වෙලා තියෙන්නේ කලාව. වෙනත් රැකියාවක් පිළිබඳව මට දැනීමකුත් නෑ. මට කලාවෙන් තොර වෘත්තියක් නෑ.

*ඔබ රංගනයට පිවිසුණු මුල් අවධියේ සහ ඉන්පසුව ඔබට ලැබුණු ජනප්‍රියත්වය, ඔබ වටා ගොඩනැගුණු ජනප්‍රියත්වය මේ වෙද්දි යම් මට්ටමකට අඩුවෙලා කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

මම එකවර ජනප්‍රියත්වයක් ලැබුණු කෙනෙක් නෙමෙයි. මම ටිකින් ටික කලා ක්ෂේත්‍රයේ ගමනක් ආව කෙනෙක්. මට ජනප්‍රියත්වය ලැබුණෙත් ටිකින් ටිකයි. මම හිතනවා දැන් තමයි මම ජනප්‍රිය. මට ජනප්‍රියත්වය ලොකු ආභරණයක් නෙමෙයි. කෙනෙකුට ජනප්‍රියත්වයක් ලබාගැනීම අපහසුයි. ලංකාවෙත් බොහොම සුළු ප්‍රමාණයකටයි ඒ වාසනාව තියෙන්නේ. ඒ අතරට හිමාලි සයුරංගි කියන පොඩි නමත් ගිහින් තියෙනවා නම් ඒක ලොකු සතුටක්. මම සාමාන්‍ය යුවතියක් විදිහට එය බොහොම නිහතමානීව විඳගන්නවා.

*නවක රංගන ශිල්පිණියන් ඔබට අභියෝගයක්ද?

හැමදෙයක්ම අභියෝගයක් විදිහට ගන්න ඕන. මට වඩා දක්ෂයින් ඉන්නවා කියන දෙය හිතන්න ඕන. අලුත් අය අතර දක්ෂ, හොඳ කැපවීමෙන් වැඩකරන තරුණ පරම්පරාවක් ඉන්නවා. ඒක අපිට අභියෝගයක් තමයි. එතකොට අපි තවත් හොඳින් අපේ වගකීම් ඉටුකරන්න ඕන. අභියෝග ලැබෙන එක හොඳයි.

*ඔබේ පෞද්ගලික තොරතුරුත් දැනගන්න ඔබේ ප්‍රේක්ෂකයින් කැමතිවේවි. මුලින්ම දැනගන්න කැමතියි ඔබේ පවුලේ සාමාජිකයින් ගැන විස්තර?

මගේ පවුලේ අම්මයි, තාත්තායි, මල්ලියි, අයියයි. මගේ අයියා විවාහකයි. මගේ මල්ලි රූපවාහිනී නාලිකාවක පරිගණක අංශයේ රැකියාවක් කරනවා. මගේ තාත්තා රක්ෂණ සංස්ථාවේ සේවය කරනවා. අම්මා ගෘහණියක්.

*හිමාලි, ඔබේ කාර්යයබහුල ජීවිතය අතරේ යම් විවේකයක් ලැබුණොත් ඔබ ඒ විවේකය ගතකරන්න කැමති මොන විදිහටද?

ඇත්තටම කිව්වොත් විවේකයක් ලැබුණොත් මම හොඳට නිදාගන්නවා. මම හරිම ආස තැන තමයි මගේ කාමරේ. මගේ කාමරේට වෙලා මට ඕන තරම් වෙලාවක් ඉන්න පුළුවන්. කිසිම කම්මැලිකමක් නෑ. ඒ හැරුණම මම පොත් කියවනවා. ඒ වගේ දවස් වලට අම්මා කෑම ටික ඔක්කොම ළඟට ගෙනත් දෙනවා. ඉතින්, ඒ විදිහට විවේකී දවස් මගේ කාමරේ තමයි ගතවෙන්නේ.

*ඔබ කාල සටහනකට වැඩකරන කෙනෙක්ද?

මට කාලසටහනක් නෑ. ඇත්තටම මම දිනපොතක් පාවිච්චි කරන්නෙත් නෑ. නමුත් මම හොඳ මතකයෙන් වැඩ කරනවා. මට කවදාවත් වැඩ අමතක වෙලා, මග හැරිලා නෑ.

*පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ඔබ බොහෝ අවස්ථා වලදී පෙම්වතියගේ චරිතය නිරූපණය කරලා තිබෙනවා. ඉතින් සැබෑ ජීවිතයේ ඔබේ ආදරය ගැන දැනගන්නත් ඔබට ආදරය කරන ඔබේ ප්‍රේක්ෂකයින් කැමතිවේවි.

එතන තමයි ප්‍රශ්නෙ තියෙන්නේ. ඇත්තටම මම පෙම්වතියක් නෙමෙයි.

*ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන විවිධ ප්‍රතිචාර අතරින් ආදර යෝජනා එහෙම ලැබුණු අවස්ථා නැද්ද?

ආදර යෝජනා ලැබිලා තියෙනවා. ඒ අතරින් එක් යෝජනාවකට කැමති වුණා. නමුත් අම්මලා ජ්‍යොතිෂය සම්බන්ධව සැලකිලිමත් වුණා. එතැනදී නොගැළපීම් ඇතිවුණා.

*ඔබ ජීවය දුන් විවිධාකාර චරිත අතරින් සැබෑ ජීවිතයේ හිමාලි සයුරංගිට සමාන යම් චරිතයක් නම් කරන්න පුළුවන්ද?

යම් යම් අඩු වැඩි වශයෙන් හමුවෙලා තියෙනවා. නමුත් ඒ මගෙම චරිතය නෙමෙයි. එක් එක් කතාව වෙනත් වෙනත් විදිහට ගලාගෙන යන්නේ. මට සමීප කියලා චරිතයක් නෑ.

* ඇත්තද ඔබ තරමක් ආඩම්බරයි කියන්නේ?

මම ගැහැණු ළමයිට නම් ආඩම්බර නෑ. පිරිමි ළමයෙක් දැක්කම නම් හිනාවෙන්න බෑනේ. ඊටපස්සේ වැරදි වැටහීමක් ඇතිකරගන්න පුළුවන්නේ. එහෙම අවස්ථා වල මම ආඩම්බරයි වගේ පේනවා ඇති.

*ඔබේ වැඩ කටයුතු වලදී ජ්‍යොතිෂයට මුල් තැනක් ලබාදෙන බව කියන කතාව ඇත්තද?

මම හරියට ජ්‍යොතිෂය විශ්වාස කරනවා. ඒ වගේම මම ටික දවසක් ජ්‍යොතිෂය ඉගෙනගත්තා. දැනුත් අවස්ථා ලැබෙන වෙලාවට මම පොත් මිලට ගන්නවා. පොත්පත් කියවනවා. මට ගුරුවරයෙක් ඉන්නවා. ජ්‍යොතිෂය සත්‍යයක් කියන තැන මම ඉන්නවා. එහි යම් බලයක්, ශක්තියක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා.

*ඔබේ ජීවිතයේ, ඔබේ චරිතය තුළ ඔබ දුර්වලකම් විදිහට ඔබ හඳුනගෙන තියෙන ගතිගුණ මොනවද?

මම ක්ෂණික තීරණ ගන්නවා. ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්ෂණික අරන් පාඩු සිද්ධවුණු අවස්ථා තියෙනවා. ජීවිතයේ තීරණ වලදිත් මම සමහර වෙලාවට ක්ෂණික තීරණ ගන්නවා. සමහර වෙලාවට ඒ තීරණ හරි යනවා. සමහර වෙලාවට වරදිනවා. ඒ ක්ෂණික තීරණ ගැනීම මගේ දුර්වලකමක් කියලා මගේ අම්මත් කියනවා. ඒ වගේම ක්ෂණික කෝපයත් මගේ දුර්වලකමක්.

*හිමාලි, අවසාන වශයෙන් දැනගන්න කැමතියි ඔබේ අනාගත සැලසුම් ගැන?

වෘත්තීය ජීවිතය පැත්තෙන් මම මේ දවස් වල හොඳ පිටපත් වලට තමයි වැඩි තැනක් දීලා තියෙන්නේ. වැඩි රඟපෑවෙත් නැති තරම්. මොකද හිතට වදින චරිතයක් නැති නිසා. තෝරාබේරාගත් හොඳම චරිත වලට තමයි මේ දවස් වල රංගන දායකත්වය ලබාදුන්නේ. ‍

HARD TALK

*කිසියම් දේශපාලන පක්ෂයක ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් සැකසුණු කලා නිර්මාණයකට දායකවෙන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ එය බාරගන්නවද?

නැහැ.

*ධනංජය සිරිවර්ධන, සුරාජ් මාපා, රොෂාන් රණවන කියන රංගන ශිල්පීන්ගෙන් තිරයේ ඔබට වඩාත්ම ගැළපෙන පෙම්වතා විදිහට ඔබ දකින්නේ කවුද?

ධනංජය සිරිවර්ධන.

*ආදරය විවාහයෙන් කෙළවර විය යුතුයි කියලා ඔබ හිතනවාද?

නැහැ.

*ඔබේ බාහිර ස්වරූපයේ කිසියම් වෙනසක් සිදුකරගැනීමට අවස්ථාවක් ලැබුණොත් ඔබ කැමති මොනවගේ වෙනසකටද?

ශරීරයේ වර්ණය තව ටිකක් පැහැපත් කරගන්න.

*ඔබ රංගනයෙන් දායක වූ නිර්මාණයක් වෙනුවෙන් ඔබ ජාත්‍යන්තර මට්ටමේ ඉහළ ඇඟයිමක් සහිත සම්මානයක් සඳහා නිර්දේශ වෙනවා. නමුත් අවසන් මොහොතේ විනිශ්චය මණ්ඩලයේ හෝ වෙනත් සැලකිය යුතු මට්ටමේ පුද්ගලයෙකු ඔබ පිළිබඳ ලබාදෙන අසත්‍ය ප්‍රචාරයක් නිසා ඔබට ඒ සම්මානය අහිමිවෙනවා. ඔබ එවිට නිහඬව ඒ සිදුවීම විඳදරාගන්නවා, අදාළ පුද්ගලයාට එරෙහිව නීතියෙන් හෝ වෙනත් සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නවා. දෙස් විදෙස් මාධ්‍ය වෙත ඒ සම්බන්ධව කරුණු දක්වමින් ඔබේ නිවැරදිබව තහවුරු කරනවා.

දෙස් විදෙස් මාධ්‍ය වෙත ඒ සම්බන්ධව කරුණු දක්වමින් මගේ නිවැරදිබව තහවුරු කරනවා.

MOST VIEWED VIDEO STORIES

MORE >>