Back to Top

එහෙම වෙනසක් අවශ්‍ය නෑ...

February 14, 2011  

එහෙම වෙනසක් අවශ්‍ය නෑ...

(මේ දිනවල ටී.වී දෙරණ ඔස්සේ විකාශය වන නවතම ටෙලි නාට්‍යයක් වන"මලී" ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් සඳහා රංගන දායකත්වය සපයන නවක රංගන ශිල්පිණියක් මෙවර ආලින්දයත් සමග එක්ව සිටියි. ඇය සිය රංගන ජීවිතය අරඹන්නේද ටීවි දෙරණ ඔස්සේ විකාශය වන"සවීණා" ටෙලි නාට්‍යය තුළිනි. ඇය අන් කිසිවෙක් නොව සමාධි අරුණචායාය.)



*සම්පූර්ණ නම

සමාධි අරුණචායා අබේගුණරත්න.

*උපන්දිනය

1990 . 11 .25

*ලග්නය

ධනු

*ජීවිතයේ ඔබ වඩාත් ගරු කරන පුද්ගලයා

අම්මා

*පදිංචිය

ඇරැව්වල, පන්නිපිටිය

*ඉතිං සමාධි, මලී ටෙලි නාට්‍යයට අමතරව ඔබ මේ දිනවල යෙදී ඉන්න කලා කටයුතු මොනවද?

දැනට නම් වෙනත් නිර්මාණ වලට සම්බන්ධ වෙලා නෑ. මලීත් එක්ක තමයි මේ දවස් වල කාර්යයබහුල වෙලා ඉන්නේ.

*ඔබේ කලා ජීවිතය ඇරඹෙන්නේ කොහොමද?

පුංචි කාලේ ඉඳලම කලාවට ආසාවක් තිබුණා. නමුත් ඒ ගැන මම කාටවත් කිව්වේ නෑ. කවුරුත් දැනගෙන හිටියෙත් නෑ. චිත්‍රපට, ටෙලි නාට්‍ය නරඹද්දී පුංචි කාලේ ඉඳන් කැමැත්තක් ඇතිවුණා‍. ඒ අතරේ අහම්බයෙන් තමයි මට කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ. මට සවීණා ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණෙත් අහම්බයක් විදිහට. මම 2010 වසරේ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස තේරී පත්වුණා. එතැන් සිටයි මට කලා ක්ෂේත්‍රයට යොමුවෙන්න අවස්ථාව ලැබුණේ.

*කලා කටයුතු වලට අමතරව ඔබ මේ දිනවල වෙනත් ක්ෂේත්‍රයක වැඩ කටයුතු වල නියැලිලා ඉන්නවද?

අධ්‍යාපන කටයුතු වලත් මේ දවස් වල නිරත වෙලා ඉන්නවා. ඉඩ ලැබෙන හැමවෙලාවකම අධ්‍යාපන කටයුතුත් එක්ක තමයි ඉන්නේ. මලීත් එක්ක කාර්යයබහුල වෙලා ඉන්න අතරේ අධ්‍යාපන වැඩ කටයුතුත් එක්ක තවත් කාර්යයබහුලයි. ඉතින් වෙනත් දෙයකට යොමුකරන්න කාලයක් නෑ.

*සාමාන්‍යයෙන් අපේ රටේ රංගන වෘත්තිය කියන්නේ ගැහැණු ළමයෙක්ට එතරම් සුදුසු රැකියාවක් නෙමේ කියලා යම් මතයක් ගොඩනැගිලා තියෙනවා. එවැනි තත්ත්වයක් මත ඔබ සතුටුවෙනවද රංගන ශිල්පිණියක් ලෙස ක්ෂේත්‍රයට එක්වීමට ඔබට ලැබුණ අවස්ථාව ගැන?

මම කලා ක්ෂේත්‍රය දකින්නේ දෙවියන්ගේ දායාදයක් විදිහටයි. අපි දන්නවනම් අපි ඉන්න ඕන කොහොමද කියන දෙය, ඒ දේවල් ගැන අපිට හොඳ අවබෝධයක් තියෙනවා නම්, මව්පියන්ගේ අවවාද ලැබෙනවා නම් මම හිතන්නේ නෑ ඒ ක්ෂේත්‍රය කාන්තාවකට නුසුදුසු තැනක් කියලා. කොයි ක්ෂේත්‍රයත් මම හිතන්නේ ඕනම කෙනෙකුට සුදුසුයි. තමන්ට සුදුසු දෙය තෝරගන්න පුළුවන් නම් එයට ක්ෂේත්‍රය ගැටලුවක් නෑ.

*සමාධි, ඔබේ පවුලේ සාමාජිකයින් ගැනත් වැඩි විස්තර දැනගන්න ඔබේ ප්‍රෙක්ෂකයින් කැමතිවේවි?

අපේ පවුලේ හතරදෙනයි. මමයි, අම්මයි, තාත්තායි, මල්ලියි. තාත්තා ව්‍යාපාර කටයුතු වල යෙදිලා ඉන්නවා. අම්මා රාජ්‍ය දැව සංස්ථාවේ සේවය කරනවා. මල්ලි තවම ඉගෙනගන්නවා. තවම 6 වසරේ.

* ඔබේ කලා කටයුතු වලට ඔවුන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය මොනවගේද?

ඇත්තටම තාත්තාගෙන් මට ලොකු ප්‍රශ්නයක් ඇතිවුණා. ඔහු කොහොමටවත් කැමතිවුණේ නෑ. නමුත් මගේ කැමැත්ත වගේම හැකියාව තියෙන්නෙත් කලා ක්ෂේත්‍රයට කියලා ඔවුන් තේරුම් ගත්තා. දරුවන්ට ඔවුන් දක්ෂතා දක්වන ක්ෂේත්‍රයට යොමුකළ යුතුයි කියලා මගේ මව්පියෝ තේරුම්ගත්තා. ඔවුන් මගේ කැමැත්තට ඉඩදුන්නේ ඒ නිසා. අම්මාගෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මගේ මල්ලි පවා මට ලොකු සහයෝගයක් දෙනවා. මුලින් අකමැත්තක් තිබුණත් දැන් මගේ රංගනයන් දකිද්දී තාත්තා ගේ අකැමැත්ත ටිකක් ටිකක් මග ඇරිලා. මලී කියන්නේ සාමාන්‍ය පෙම්වතියකට වඩා හුඟක් ඉහළ ගිය චරිතයක්. ඒ නිසා මුලින් තිබුණු බලපෑම දැන් ඒ තරම් නැහැ. නමුත් ඉගෙනගන්න කියලා තමයි හැම තිස්සෙම කියන්නේ. අධ්‍යාපනයත් එක්කම කලා කටයුතු කරගෙන ගියොත් තාත්තා වුනත් ඉදිරියේදී බලපෑමක් කරන එකක් නෑ.

*ඕනෑම ක්‍ෂේත්‍රයකට පැමිණෙන නවකයින්ට යම් යම් අවස්ථාවලදී විවිධ කැපිලි කෙටිලි වලට මුහුණ දෙන්න සිද්ධවෙන්න පුළුවන්. එය කලා ක්ෂේත්‍රයටත් පොදුයි. ඔබට මුහුණදෙන්න සිද්ධවුණු එවැනි අත්දැකීම් ගැන මතක් කරන්න පුළුවන්ද?

ඇත්තටම ඒ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ නෑ. මොකද මම ක්ෂේත්‍රයට ඇවිත් වැඩි කාලයක් නෑ. මෙතෙක් හමුවුණු හැම කෙනෙක්ම වගේ මට උපරිම සහයෝගයක් දුන්නා. සවීණා වගේම මලී ටෙලි නාට්‍යයේ ශිල්පීන් මාත් එක්ක බොහොම සහයෝගයෙන් කටයුතු කළා. ඉදිරියෙදීත් මට ඒ වැනි අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධවෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ප්‍රවීණ ශිල්පීන්ගෙන් තමයි වැඩි සහයෝගයක් ලැබෙන්නෙත්.

*ඕනම තරුණියක්ට හෝ තරුණියක්ට ජීවිතයේ මගහැර යන්නම බැරි මාතෘකාවක් තමයි ආදරය සහ විවාහය කියන්නේ. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

ලස්සනම ප්‍රශ්නෙ ඇහුවේ දැන් තමයි. ආදරය හරිම සුන්දර දෙයක්. මව්පියන්ගෙන්, මේ හැමකෙනෙක්ගෙන්ම ලබන ආදරය හරිම සුන්දරයි. අපි ආදරය හින්දා තමයි ජීවත්වෙන්නෙත්. ප්‍රේමය ගැන නම් මේ දවස් වල හිතන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ.

*මේ වෙද්දී ඔබ ආදරවන්තියක්ද?

කොහෙත්ම නැහැ. පුංචි පුංචි අත්දැකීම් තියෙනවා. මගේ හිතේ තිබුණ. ආදරය ප්‍රකාශ කරන්න බැරිවුණු අවස්ථාවක් තිබුණා. ඒ ගැන ලොකුවට කතාකරන්න දෙයක් නෑ. පාසල් කාලේ පුංචි අත්දැකීමක් පමණයි.

* සමාධි, මෑතකදී ඔබේ ජීවිතයේ ඔබ මුහුණ දුන් එවැනි සංවේදී අත්දැකීමක් ගැන මතක් කරන්න පුළුවන්ද?

සංවේදී වුණු අවස්ථාවන් බොහොමයක් තියෙනවා. මෑතකදී මුහුණ දෙන්න සිද්ධවුණු අවස්ථාවක් තමයි මගේ සීයා හදිසියේම නැතිවුණා. මගේ සීයා මගේ තාත්තා තරමටම මට හුඟක් සමීප කෙනෙක්.

*ඔබේ වැඩ කටයුතු අතරේ ඔබට යම් විවේකී අවස්ථාවක් ලැබුණොත් ඔබ විවේක කාලය ගතකරන්න කැමති මොන විදිහටද?

විවේකයක් ලැබුණු ගමන්ම කරන්නේ නිදාගන්න එක. ඊට අමතරව රූපවාහිනී වැඩසටහන් නරඹනවා. චිත්‍රපට බලනවා. එහෙම තමයි කාලය ගතවෙන්නේ.

*මලී ටෙලි නාට්‍යයේ මලීගේ චරිතය සැබෑ ජීවිතයේ සමාධිට මොන තරම් දුරට සමීපද?

සමානකම් නැත්තෙම නෑ. මලී තුළ තිබෙන සරල බව මගේ සැබෑ ජීවිතය තුළත් තියෙනවා. ඒ වගේම මලී කියන්නේ තමන්ගේ මවට පුදුම විදිහට බැඳුණු චරිතයක්. ඒ බැඳීම මගේ සැබෑ ජීවිතයේත් තියෙනවා. අම්මයි මමයි හුඟක් සමීපයි. අධ්‍යාත්මික වශයෙන් ඉහළ චරිතයක් මලී කියන්නේ. සැබෑ ජීවිතයේදී මට ඒ තැනට යන්න බැරිවුනත් මට ඉඩ ලැබෙන හැම වෙලාවකම මම භාවනා කරනවා. මම ආගමික පැත්තට ගොඩක් නැඹුරුයි.

*ඔබේ ජීවිතයේ, ඔබේ චරිතය තුළ ඔබ දුර්වලකම් විදිහට ඔබ හඳුනගෙන තියෙන ගතිගුණ මොනවද?

මම හිතන විදිහට මම ඕනම දෙයකට ඉක්මනින් සංවේදී වෙනවා. දුකක් වුනත් මට වෙනත් කෙනෙකුට වඩා වැඩිපුර දැනෙනවා කියලා මට වෙලාවකට හිතෙනවා. මගේ අම්මා ම‍ගෙ හිත හදන්න උත්සාහ නොකළොත් පුංචි දෙයක් පවා මට තදින් දැනෙනවා කියලා මම හිතනවා. මම වැටෙන හැම අවස්ථාවකම මාව නැගිට්ටවන්න මගේ අම්මා මම ළඟ හිටියත් බොහෝ සංවේදී වීම දුර්වල කමක් කියලා මම හිතනවා.

*ඔබ කොහොමද කලා ජීවිතයේ ‍වගේම ඔබේ පෞද්ගලික ජීවිතයේත් අනාගත සැලසුම් සකස් කරගෙන තියෙන්නේ?

ගුණාත්මක නිර්මාණයක් ලැබුණොත් මම ගොඩක් දුරට බාරගන්නවා. දැනට නම් ලොකු සැලසුම් නැහැ. අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගෙන සාර්ථක ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

HARD TALK *කවදා හෝ කලා කටයුතු වලින් සම්පූර්ණයෙන්ම ඈත්වෙන ලෙස ඔබේ පෙම්වතා හෝ ඔබේ සැමියා ඉල්ලා සිටියොත් ඔබ එය පිළිගන්නවද?

පිළිගන්නේ නෑ.

*කිසියම් දේශපාලන පක්ෂයක ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් සැකසුණු කලා නිර්මාණයකට දායකවෙන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ එය බාරගන්නවද?

බාරගන්නේ නෑ.

*ඔබේ විවාහයේදී ඔබ ජ්‍යොතිෂයට මුල්තැනක් දෙනවද?

අනිවාර්යයෙන්ම.

*ඔබට එකම අවස්ථාවක එකම මට්ටමේ නිර්මාණ දෙකකට ආරාධනා ලැබෙනවා? ඉන් එක් නිර්මාණයක් ඔබේ පෙම්වතාගේ. අනෙක් නිර්මාණය ඔබේ සොහොයුරාගේ. ඔබ බාරගන්නේ කුමන නිර්මාණයද?

කතාකරලා විසඳගන්න අමාරු කෙනාගේ නිර්මාණය බාරගන්නවා.

*ඔබේ ජීවිතයේ ඔබට කිසියම් අවස්ථාවක් ලැබුණොත් ඔබේ බාහිර ස්වරූපයේ කිසියම් වෙනසක් සිදුකරගන්න. ඔබ කැමති මොන විදිහේ වෙනසක් සිදුකරගැනීමටද?

එහෙම වෙනසක් අවශ්‍ය නෑ.

MOST VIEWED VIDEO STORIES

MORE >>