Back to Top

ගෑණු ළමයින්ගෙන් නම් අඩුවක් තිබුණේ නෑ

March 1, 2010  

ගෑණු ළමයින්ගෙන් නම් අඩුවක්  තිබුණේ නෑ

"මාධව විජේසිංහ"පුංචි තිරයට පෑයූ අලුත්ම තාරකාවක්."ආදරණීය වස්සානය"ටෙලි නාට්‍යයේ"කසුන්"ලෙස ආදරණීය පෙම්වතෙකුගේ චරිතය නිරූපණය කරන ඔහු රූපවාහිනී නිවේදකයකු ලෙස ද ඔබ හමුවට පැමිණෙයි.මෙවර ආලින්දයේ කතා බහ මේ දඟකාර අහිංසක පෙම්වතා සමගයි.



* කොහොමද මේ දවස්වල ජීවිතේ?

මම රංගනයෙන් දායක වුණු"ආදරණීය වස්සානය"ටෙලි නාට්‍යය මේ දිනවල දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වෙනවා. තවත් ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම මම මේ දින වල ජාතික තරුණ සේවා සභාවේ රූපවාහිනී මාධ්‍ය පිළිබඳව පාඨමාලාවක් හදාරනවා. මම සංගීතයත් හදාරනවා. එහි භාත්කණ්ඩ විශාරද විභාගය සඳහා සූදානම් වෙනවා. එහි පළමු කොටස අවසන්. දැන් දෙවන කොටස සඳහා සූදානම් වෙනවා.

* මාධව‍ගේ පවුලේ විස්තර. . .?

මගෙ පවුලේ මමයි, අම්මයි, තාත්තායි, අයියයි. තාත්තා ඩබ්ලිව්. පී. පී. පෙරේරා. ඔහු විශ්‍රාමික බැංකු නිලධාරියෙක්. මගේ අම්මා කේ. ඒ. එල්. මල්කාන්ති. ඇය ජාතික චිත්‍රපට සංස්ථාවේ සේවය කළා. අයියා ගයාන් පෙරේරා. ඔහු වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙක්.

* රංගන ශිල්පියෙකු ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසුණේ කොහොමද?

ඇත්තටම මගේ පළමු ටෙලි නාට්‍ය"ආදරණීය වස්සානය"ටෙලි නාට්‍යය නෙමෙයි. මම මුලින්ම රංගනයට පිවිසුණේ වයස අවුරුදු පහේදි. ඒ අශෝක හඳගම මහතාගේ "ජන්ද කින්නරී"චිත්‍රපටයෙන්. ඒ වගේම වෙළඳ දැන්වීම් වලටත් සම්බන්ධ වුණා. 2000 වසරේ මම රාජ්‍ය නාට්‍ය උළෙලේ නාට්‍යයක මම ප්‍රධාන චරිතයක් නිරූපණය කළා. එම නාට්‍යය සඳහා මට කුසලතා සහතිකයක් ලැබුණා. නැවතත් 2004දි රාජ්‍ය නාට්‍ය උළෙල නි‍යෝජනය කළ ගයාත්‍රි හීනටිගමගේ නාට්‍යයකත් මම ප්‍රධාන චරිතයකට දායක වුණා. ඒ නාට්‍යයත් සම්මාන කිහිපයක්ම දිනාගත්තා. මම ළමා කාලයේ සිරස රූපවාහිනියේ"රන් සිත් යාය"වැඩසටහනේ නිවේදන කටයුතු කළා. එයින් පසුව මම නිවේදකයකු ලෙස දෙරණ"Star in a Minute"වැඩසටහනට දායක වුණා. ඉන්පසු එහි දෙවන කොටස "Little Star"වැඩසටහනටත් මම සම්බන්ධ වුණා. නමුත් දැනට මම නිවේදකයකු ලෙස කටයුතු කරන්නෙ නෑ."ආදරණීය වස්සානය"ට සම්බන්ධ වුණේ අහම්බයෙන් වගේ. එහි නිෂ්පාදන කණ්ඩායමට සම්මුඛ පරීක්ෂණ වලදී කසුන්ගේ චරිතය සඳහා සුදුසු කෙනෙක් හමුවී තිබුණේ නෑ. එයින්පසුව පැවැත්වුණු ප්‍රායෝගික පරීක්ෂණයකට මට සහභාගිවෙන්න අවස්ථාව ලැබුණා. එහිදී මම එම චරිතයට තෝරා ගැනුණා.

* අනාගතය ගැන මොන වගේ සැලැස්මක්ද තියෙන්නේ?

රංගනය පැත්තෙන් විනෝදාංශයක් ලෙස ඉදිරියට යාමේ බලාපොරොත්තුවක් තියෙනවා. රංගනයට වඩා මම වැඩි කැමැත්තක් දක්වන්නේ අධ්‍යක්ෂණ අංශයටයි. එමනිසා ඒ පිළිබඳව හොඳින් හදාරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. එයින්පසු හොඳ නිර්මාණ ජනතාව වෙත ලබාදෙන්න මම කැමතියි. මම උසස් පෙළ හැදෑරුවේ වාණිජ අංශයෙන්. නමුත් මම වැඩි කැමැත්තක් දක්වන්නේ කලා ක්ෂේත්‍රයටයි. විශේෂයෙන් ජනමාධ්‍ය අංශයට. මම දැනට ජනමාධ්‍යය පාඨමාලාවක් හදාරන්නෙත් එම නිසයි. ඉතින් කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න මම බලාපොරොත්තු වෙනවා.

* විවේකය ගතකරන්න කැමති කොහොමද?

විවේකය සැහැල්ලුවෙන් ගතකරන්න කැමතියි. හුඟක් වෙලාවට විවේකයක් ලැබුණොත් මම චිත්‍රපට නරඹනවා. මම මුලින් කිව්ව වගේ මම චිත්‍රපට පිළිබඳ අධ්‍යනය කරන්න කැමතියි. ඒවායේ අන්තර්ගතය වගේම තාක්ෂණික භාවිතාව පිළිබඳවත් මම අධ්‍යනය කරනවා. චිත්‍රපට නැරඹීමෙන් මම හොඳ දැනුමක් ලබාගන්නවා. ඒ හැරුනම විවේකයක් ලැබෙන අවස්ථා වලදී මිතුරන් සමග විනෝද චාරිකා යන්නත් මම කැමතියි.

* ලංකාවේ ගෑණු ළමයි ගැන මොකද හිතන්නේ?

ම්. . .ම්. . .ම්. . . ලංකාව කියන්නේ උසස් සංස්කෘතියක් තියෙන රටක්. ඉතින් ඒ සංස්කෘතිය තුළ හැදී වැඩුණු ගෑණු ළමයි අවංක, සුහදශීලී යහපත් ගුණාංගයන්ගෙන් පිරිපුන් පිරිසක් කියල හිතෙනවා.

* පාසල් යන කාලේ ආදරය ගැන අත්දැකීම් ලැබුවේ නැද්ද? පොඩිකාලේ ඉඳලම මං ගියේ මිශ්‍ර පාසල් වලට.ඉතිං ගෑණු ළමයින්ගෙන් නම් අඩුවක් තිබුණේ නෑ.ඒ කාලේ ඉඳන්ම මං ගොඩක් බාහිර වැඩවලට සම්බන්ධ වුණා.ඒ හින්දා ගෑණු ළමයි ගැන විශේෂ හැඟීමක් දැනුණේ නෑ.ආදරය මට ආගන්තුකයි කියල කියන්නත් බෑ.නමුත් දුර දිග සම්බන්ධකම් තිබුණේ නෑ. * ජීවිතයේ වඩාත්ම සතුටු වුණු දවස?

ඇත්තටම ජීවිතයේ වඩාත්ම සතුටු වුණ දවසක් ගැනවත් වැඩියෙන්ම දුක්වුණු දවසක් ගැනවත් මට හරියටම කියන්න බෑ. මොකද සාමාන්‍යයෙන් මම හැම දවසක්ම වගේ සතුටින්, සැහැල්ලුවෙන් ගත කරන නිසා. ඒ නිසා ඒ ගැන විශේෂ දවසක් ගැන මට කියන්න අමාරුයි.

* ලංකාවේ කලාව ගැන මොකද හිතන්නෙ?

චිත්‍රපට, සංගීතය මේ ඕනම ක්ෂේත්‍රයක් තුළ ලෝකයේ වෙනත් නිර්මාණ සමග තරඟ කිරීමේ හැකියාවක් ලංකාවේ කලා නිර්මාණ වලට නෑ. එයින් අදහස් වෙන්නේ ලංකාවේ හොඳ නිර්මාණ බිහිනොවන බව නෙමේ. දක්ෂ, නිර්මාණශීලී කලාකරුවන් ලංකාවේ ඉන්නවා. නමුත් කලාකරුවන්ට ලැබෙන පහසුකම් අඩුයි. සම්පත් අඩුයි. ඒ වගේම ප්‍රේක්ෂකයින්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙන්නෙ නෑ. ඒ සඳහා ප්‍රේක්ෂකයින්ට දැනුවත් වීමක් ලැබෙන්නෙ නෑ. ඔවුන්ට ඉඩක් ලැබෙන්නෙත් නෑ. ලංකාවේ කලා ක්ෂේත්‍රය පසුගාමී තත්ත්වයක තියෙන්නෙ ඒ නිසයි.

* "චාපා -කසුන්"පුංචි තිරයේ හොඳින් ගැළපෙන පෙම්වතුන් කියලයි කාගෙත් අදහස. එහෙම නේද?

(සිනාසෙමින්) ඩිනක්ෂි නංගියි මමයි ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් වලදි වගේම සාමාන්‍ය ජීවිතයේදීත් හුඟක් සුහදව වැඩ කරනවා. විනෝදෙන් ඉන්නවා. ඒ වගේම අපි හුඟක් හොඳ යාළුවො.

* වැඩියෙන්ම ආදරේ කාටද?

පුංචි කාලෙ ඉඳන් මේ වනතුරුම මගේ ජීවිතේට හුඟක්ම ළංවෙලා ඉන්නේ මගේ අම්මා. අදටත් මම කොහේ හරි ගියොත් මගේ අම්මත් එනවා. ඇයගෙ ආදරය මට හුඟක් සමීපව දැනෙනවා. මගෙ ආදරයත් අම්මට ඒ වගේම ලැබෙනවා.

* "මාධව විජේසිංහ"කියන්නේ?

ලොකු බලාපොරොත්තු ගොඩක් පොදි බැඳගෙන නැති, නමුත් ජීවිතේට අරමුණක් තියෙන ඒ වගේම සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන්න කැමති කෙනෙක්.



ඡයා රූ-ටෙනිසන් එදිරිසිංහ/ධම්මික ඩී. අල්විස්

MOST VIEWED VIDEO STORIES

MORE >>