
නාවික හමුදාව සතුව තිබූ මුල්ලිකුලම් ප්‍රදේශයේ ඉඩම් අක්කර සියයක් එම ප්‍රදේශයේ ජනතාව වෙත ලබාදීම සඳහා නිදහස් කිරීමට නාවික හමුදාව එකඟතාව පළ කර තිබේ.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වයඹ නාවික විධානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව අනාවරණය කර ඇති බව සඳහන්වේ.
මුල්ලිකුලම් ප්‍රදේශයේ ජනතාව සමඟ නාවික හමුදාපතිවරයා සුහද කථා බහක නිරතව ඇති අතර එහිදී කෘෂිකාර්මික ඉඩම් අක්කර සියයක භූමි භාගයක නැවත පදිංචිවීම සඳහා ජනතාව කැමැත්ත පළ කර තිබේ.
ඒ අනුව අදාළ ඉඩම් එම ජනතාවට ලබාදීම සඳහා නිදහස් කිරීමට නාවික හමුදාපතිවරයා එකඟත්වය පළ කර ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
මුල්ලිකුලම් ප්‍රදේශයේ මේ වන විට ලියාපදිංචිය තහවුරු කල පවුල් 185ක් පමණ ජීවත් වන බව වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක උතුරු -නැගෙනහිර පළාත් වල අවතැන් ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවද නාවික හමුදාව සඳහන් කළේය.



















































