9/11 ප්‍රහාරයට අදට වසර 18ක්
සයුරෙන් එතෙර

9/11 ප්‍රහාරයට අදට වසර 18ක්

September 11, 2019   12:22 pm

නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙද මධ්‍යස්ථානය වෙත ප්‍රහාරයක් එල්ල වී අදට වසර 18ක් සපිරෙයි.

ඒ වෙනුවෙන් වූ අනුස්මරණ උත්සව රැසක් නිව්යෝර්ක්, වොෂින්ටන් ඩී සී, ෂාන්ක්විල් හා පෙනන්සියුලා යන ප්‍රදේශවල සංවිධානය කර ඇති බව විදෙස් පුවත් වාර්තා කළේය.

2001 වසරේ සැප්තැම්බර් මස 11වැනිදා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල, පෙන්ටගනය ඉලක්ක කර ගුවන්යානා යොදාගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය.

නයින් ලෙවන් ප්‍රහාරය ලෙසින් ප්‍රකට මෙම ප්‍රහාරය සඳහා සාමාන්‍ය මගී ප්‍රවාහන ගුවන් යානා හතරක් යොදා ගැණුනි.

ඉන් යානා දෙකක ඉලක්කය වී තිබුණේ නිව්යෝර්ක් හි ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ කුළුණු ද්විත්වය යි.

ප්‍රහාරයෙන් ගොඩනැඟිල්ලේ කුළුණු දෙකම මුලුමනින්ම බිමට පතිත වූ අතර ඉන් මියගිය පිරිස තුන්දහස ඉක්මවයි.

ප්‍රහාරයේ බරපතළ බව වඩාත් තීව්‍ර කරමින් වොෂින්ටන් අගනුවර පිහිටි අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනයද ත්‍රස්තයන්ගේ තවත් ඉලක්කයක් විය.

නිව්යෝර්ක් ප්‍රහාරයට සමාන්තරව එල්ල වූ මෙම ප්‍රහාරය සැලකෙන්නේ අමෙරිකාවේ ආරක්ෂාවට එල්ල වූ මරු පහරක් ලෙසයි.

තවත් ගුවන්යානාවක් පෙනන්සියුලාවේ ගොවිබිමක් වෙත පතිත වූ අතර ඉන් යානාවේ ගමන්ගත් මගීන් සියලු දෙනාම මිය ගියේය.

එම යානාවේ ඉලක්කය ධවල මන්දිරය වූ බව පසුව ප්‍රකාශ කෙරුණුත් ඒ බව සනාථ කෙරුණේ නැහැ.

අමෙරිකාව කම්පාවට පත් කළ ප්‍රහාර මාලාවේ වගකීම ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අල් ඛයිඩා සංවිධානය බාරගෙන තිබුණි.

ලෝකයේ බලගතුම හමුද සතුවූ අමෙරිකාව මුහුණදුන් මෙම ප්‍රහාරයෙන් සමස්ත අමෙරිකාව ම සළිත වී ගිය බව කිවයුතුයි.

ප්‍රහාරයට ප්‍රතිචාර ලෙසින් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ අමෙරිකාව සිය දස වසරක සටන නිමා කළේ 2011 වසරේ පාකිස්තානයේදී ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමෙන් අනතුරුවයි.