
නීති විරෝධීව මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවන දේශපාලනඥයින් සම්පූර්ණයෙන්ම එයින් ඉවත්වීම ඉතා අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එවැනි සබඳතා පවත්නා දේශපාලනඥයින්ට පක්ෂය හෝ තරාතිරම නොබලා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා කියා සිටියේ අද(09) මතින් නිදහස් රටක්ජාතික වැඩසටහන ආරම්භ කරමින් ජාඇල නගර සභා පිටියේ පැවති උත්සවයකට එක්වෙමිනි.
පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක වුවද බුද්ධි අංශ හා රහස් තොරතුරු මගින් ප්‍රධාන රාජ්‍ය දෙපාර්තමේන්තු දෙකක නිලධාරීන් මෙම නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු වාර්තාවී ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
රට තුළ භාණ්ඩ බෙදාහැරීම සම්බන්ධයෙන් වගකීම දරණ මෙම දෙපාර්තමේන්තු දෙකෙහි නිලධාරීන් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරමට සම්බන්ධවී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍ය උවදුරෙන් ජනතාව බේරාගැනීම සඳහා දැනුවත් කිරීම ප්‍රමුඛ කාරණයක් වුවද, නීතිය නිසි ලෙස ක්‍රියාත්මකවීම සඳහා රජයක් ලෙස දැඩි ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බව ජනාධිපතිවරයා කියා සිටියේය.
මේ රටේ දුගී දුප්පත් ජනතාව තම ආදායමෙන් තුනෙක් එකක් වැය කරනු ලබන්නේ මත්ද්‍රව්‍ය සඳහා බවත්,දුගී දුප්පත්කම වැඩිවීමටත්,රෝගීන් වැඩි වීමටත් එය සෘජුවම බලපාන බව ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී රජයේ සෑම ආයතනයක්,සංස්ථාපිත මණ්ඩලයක්, දෙපාර්තමේන්තුවක් තුළ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයක් ස්ථාපිත කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව දින 3ක් සුරාසැල් වසාදැමීමට මුලදී රජය තීරණය කළද ආදායම් නිලධාරීන් එය දැන හිසේ අතගසා ගත් බවත්,ඒ නිසා එක් දිනක් පමණක් සුරාසැල් වසාදැමීමට කටයුතු කිරීමට සිදුවූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
සංවර්ධනය ගැන උජාරුවෙන් කතා කරන රටක සුරාසැල් ආදායම ඉවත්කර ජාතික ආර්ථිකයේ අයවැය සකස් කිරීමට නොහැකිවී තිබීම කනගාටුවට කරුණක් බවත්, තමා සෞඛ්‍ය ඇමති ලෙස කටයුතු කරන සමයේදීද මෙම ප්‍රශ්නය පිළිබඳ කතා කරන්නට යාම රජයේ ආදායම් පිළිබඳ ප්‍රශ්නයක් බවට පත්වූ බවත් සිරිසේන මහතා සිහිපත් කළේය.
කෙසේ වෙතත් 2020 වන විට සුරාසැල් ආදායම ඉවත් කොට රටේ අයවැය සකස් කළ හැකි මට්ටමට රට ගෙන ඒම තම ඉලක්කය බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.





















































