
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන්ගෙන් හරි අඩක් එම විශ්වාසභංග යෝජනාවට අත්සන් කර ඇති බවත්, මෙවැනි විශාල පිරිසක් විශ්වාසභංග යෝජනාවකට අත්සන් තැබූ ප්‍රථම අවස්ථාව මෙය විය හැකි බවත් එම නිවේදනයෙන් පෙන්වා දෙයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද එම නිවේදනය පහත පරිදිවෙයි.
පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන්ගෙන් හරි අඩක් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවකට අත්සන් කොට තිබේ. වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ මුලූ ඉතිහාසය පුරාම මෙතරම් විශාල මන්ත‍්‍රීවරු ප‍්‍රතිශතයක් විශ්වාසභංග යෝජනාවකට අත්සන් තැබූ මුල් අවස්ථාව මෙය විය හැක. මෙවන් තත්ත්වයක් උද්ගතවීම ගැන මම මවිත නොවන්නේ මේ ආණ්ඩුවේ සදාචාර විරෝධී හැසිරීම මමද සෘජුවම අත්දැක තිබෙන නිසාය. මීට සතියකට පමණ පෙර මහා මාර්ග අමාත්‍යංශය විසින් ණයට ගත් රුපියල් බිලියන 28 ක මුදලක් මහාමාර්ග තැනීමට නොව හෙලිකොප්ටර් ගමන් යෑමට හා දන්සැල් පැවැත්වීම වැනි වෙනත් කටයුතු සඳහා මා විසින් අවභාවිතයට ලක් කර තිබෙන බව අගමැතිවරයා මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කර සිටියේය.
නමුත් මහාමාර්ග අමාත්‍යංශයේ ලියවිලි වලින් ජාතික ඉතිරිකිරිමේ බැංකුවෙන් ලබා ගත් මෙම කෙටි කාලීන ණය මුදල වියදම් වූ ආකාරය පැහැදිලි වෙයි. ඉන් රුපියල් බිලියන 6.5 ක් වැය කොට තිබුණේ පිටත වටරවුම් මාරගය හා ”එක්සත් රාජධානියේ යකඩ පාලම් ව්‍යාපෘතිය” ඇතුලූ විදේශීය මූල්‍ය ප‍්‍රතිපාදන මත ඉදි කෙරෙන ව්‍යාපෘති 22 ක දේශීය පංගුව ගෙවීමටය. තවත් රුපියල් බිලියන 14 ක් මාර්ග පළල් කිරීම හා වැඩිදියුණු කිරීමටත්, රුපියල් බිලියන 4 ක් පාලම් නඩත්තුව හා අලූත්වැඩියාවටත්, අවසන් බිලියන් 3.7 මගනැගුම ග‍්‍රාමීය මාර්ග ව්‍යාපෘතිය සඳහාත් යොදවා ඇත. මේ බිලියන 28 ක මුදල මහා මාර්ග වලට නොව වෙනත් කටයුතු වලට අවභාවිත කර තිබෙනවා යැයි අගමැතිවැයා කී කතාව සම්පූර්ණ මුසාවකි.
මාගේ පාලන සමයේ රජයේ මුදල් අවභාවිතය ගැන සාවද්‍ය ප‍්‍රචාර ගෙන යන අතර වත්මන් අණ්ඩුව භණ්ඩාගාර බැඳුම්කර මගඩියක් හරහා රටට බිලියන 50ක පාඩුවක් දැනටම සිදුකොට ඇත. මේ අතරතුර මෑතකදී පිහිටුවන ලද කැබිනට් අනු කමිටුවකට සෘජුවම වගකියන ගෙස්ටාපෝ තාලයේ පොලිස් ඒකකය හරහා මේ ආණ්ඩුව තම දේශපාලන විරුද්ධවාදීන් බන්ධනාගාර ගත කරමින් සිටී. වත්මන් අණ්ඩුව යටතේ සිදු කෙරෙන බොරු ප‍්‍රචාර, මහා පරිමාණ දුෂණය හා පෙර නොවූ විරූ ආකාරයේ දේශපාලන විරුද්ධවාදීන් දඩයම මේ ඓතිහාසික විශ්වාසභංග යෝජනාවට හේතුවී ඇත.
මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධිපති



















































