
ඖෂධ මිල ගණනන් අසීමිත ලෙස ඉහළ යෑම හමුවේ මේ වනවිට පිළිකා රෝගීන් ද දැඩි අසීරුතාවයකට පත්ව තිබේ.
කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ජ්යෙෂ්ඨ මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතා ප්රකාශ කළේ, පවතින තත්ත්වය හමුවේ ප්රමාණවත් පහසුකම් නොමැති වීම තුළ ප්රතිකාර සේවා පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බවය.
එමෙන්ම පවතින සෞඛ්ය පද්ධතිය තුළ වෛද්යවරුන්ගෙන් ගත යුතු උපරිම සේවාව ලබානොගන්නා බව ද ජ්යෙෂ්ඨ මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතා කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"මේ රටේ තියෙන රේඩියෝ තෙරපි මැෂින් ගත්තොත් ඒවාවල අඩුපාඩුවක් තියෙනවා. අපේක්ෂා රෝහලේ රේඩියෝ තෙරපි ගන්න සමහර වෙලාවට මාස තුනක් පොරොත්තු ලේඛනයේ ඉන්න සිද්ධවෙලා තියෙනවා. රේඩියෝ තෙරපිවල වැඩිදියුණු කළ මැෂින් තියෙන්නේ ලංකාවටම දෙකයි. එතකොට පිළිකාවලට දෙන ඖෂධ ගත්තොත් සමහර ඖෂධවල මිල අපි දන්නවා 200%කින් 300%කින් මිල වැඩිවෙලා තියෙනවා පිළිකා රෝගීන්ට දෙන. එක වෑල් එකක් රු 109,000යි. එක්කෙනෙක්ට ඒ වෑල් 17ක් ඕනේ වෙනවා. එතකොට කොහෙන්ද ජනතාවට සල්ලි. ඒ අයම අද ප්රශ්න කරනවා ඇයි මෙච්චර වියදම් කරගෙන උගන්වන්නේ. අපිට මෙහෙට ඇවිත් කරන්න පුළුවන් සේවය කුමක් ද? අපි වෛද්යවරුන්ගෙන් ගත යුතු උපරිම සේවය ලබාගන්නේ නෑ අද තියෙන සිස්ටම් එකෙන්."
රටේ ආර්ථිකය කඩා වැටීම සෘජුවම සෞඛ්ය සහ පෝෂණ තත්ත්වයට බලපා ඇති බව එම අවස්ථාවට එක්වෙමින් විශේෂඥ වෛද්ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කළේය.
"ධාන්ය 32.3%කින් නිෂ්පාදනය පහත වැටිලා. තේ නිෂ්පාදනය 19.7%කින්, වී නිෂ්පාදනය 15.6%කින්, ධීවර කර්මානය 15.3%කින්, සත්ත්ව නිෂ්පාදන 13.6%කින් හා එළවළු නිෂ්පාදන 13.2%කින් කඩා වැටිලා. මේක ඍජුවම අපේ රටේ ජනතාවගේ සෞඛ්යයට, විශේෂයෙන්ම පෝෂණ තත්ත්වයට, දරුවන්ගේ පෝෂණ තත්ත්වයට ඍජුවම බලපානවා. ඉතින් අපි හිතනවා මේ බලපෑම් දිගින් දිගටම ක්රියාත්මක වුණොත් අපේ රටේ ජනතාවගේ පෝෂණ තත්ත්වය හීන වෙනවා. බොහෝදෙනා වේල් තුන සකස් කරගන්න බැරි නිසා එක් වේලකින් හෝ දෙකකින් සෑහීමට පත්වෙනවා. මේ වේලාවේ මිල ඉහළ යෑම සමගම ඖෂධ හිඟය නිසා බොහෝ රෝගීන් පෙළඹිලා තියෙනවා කියලා අපිට ආරංචියි දවසක් හැර දවසක් ප්රතිකාර ගන්න. මෙය එතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. ඉක්මනින් ඔවුන් රෝගවලට ගොදුරු වෙයි. නැතිනම් බරපතළ ගැටලු ඇතිවෙයි ඖෂධ නැති නිසා."



















































