
හෙට (04) දිනයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත් වන බවට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයින් හා සමගි ජන බලවේගය අතර පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
ජාතික එකඟතා ආණ්ඩුවක් පත් කිරීම සඳහා යෝජනා සහ අදහස් ලබාගැනීම වෙනුවෙන් පත්කෙරුණු කමිටු සාමාජිකයින් අද (03) පෙරවරුවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් හමුවී සාකච්ඡා පැවැත්විය.
කමිටුව වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස් යන මහත්වරු සාකච්ඡාවට එක්වු අතර ඊට අමතරව ස්වාධීන මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, නිමල් ලාන්සා හා නලීන් පෙරේරා යන අයද ඊට එක්ව සිටියේය.
සමගි ජන බලවේගය වෙනුවෙන් සාකච්ඡාවට එක්ව සිටියේ එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ගයන්ත කරුණාතිලක හා ඉරාන් වික්‍රමරත්න යන මහත්වරු ඇතුළු පිරිසකි.
මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා,
"විශ්වාසභංග යෝජනාව ගැන තමයි අපි සාකච්ඡා කළේ. ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වුණු අය කිව්වා.. හෙට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවත් ඉවත් වෙනවා. ඒ නිසා විශ්වාසභංග යෝජනාව ගැන ඒ අනුව තමයි අපිට ක්‍රියා කරන්න වෙන්නේ කියලා. ඒ පිළිබඳව තමයි කතා කළේ. විශ්වාසභංගයෙන් පසුව අපි මොකද කරන්නේ කියන එක ගැනත් කතා කළා. නමුත් අපි පැහැදිලිව ප්‍රකාශයක් කළා මහින්ද රාජපක්ෂ විතරක් අයින්වෙලා මදි, ගෝඨාභය රාජපක්ෂත් ඉවත් විය යුතුයි කියන එක. ඒ පිළිබඳව කරන සාකච්ඡාවකින් තමයි ඊට පස්සේ ගන්න තීන්දු ක්‍රියාත්මක කරන්නේ කියලා."
මේ අතර සාකච්ඡාවේදී ඉදිරිපත් වු යෝජනා පිළිබඳව තීරණයක් ගැනීම සඳහා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින අද පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයට සිය මන්ත්‍රී කණ්ඩායම කැඳවා සාකච්ඡා පවත්වා තිබේ.



















































