
රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මහජනතාවගේ එදිනෙදා වැඩ කටයුතුවලට දැඩි ලෙස බාධා එල්ලවී තිබේ.
ඉන්ධන හිඟය හමුවේ ඉන්ධනහල් අසල අදත් දිගු පෝලිම් දක්නට ලැබුණි.
ඉන්ධන හිඟය හේතුවෙන් සිය ප්රවාහන කටයුතු සහ රැකියා කටයුතු සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බව ජනතාව පවසයි.
දොඩන්දූව ධීවර වරායේ ධීවරයින් ද පවසන්නේ ඩීසල් හිඟය හේතුවෙන් දෛනිකව ධීවර බෝට්ටු 30ක් පමණ මුහුදු යාමෙන් වැළකී සිටින බවය.
මේ අතර, එළවළු ලොරි සඳහා ඩීසල් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් කොළඹට එළවළු ලොරි පැමිණීම අඩුවී ඇති බව වෙළෙඳුන් පවසයි.
පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් පවසන්නේ මේ වනවිට එළවළු ගෙන එම 50%කින් පමණ පහළ බැස ඇති බවය.
මේ අතර, ත්රිකුණාමලය මොරවැව ප්රදේශයේ අක්කර 300ක් පමණ වු කුඹුරුවල අස්වනු නෙලීම ආරම්භ වී ඇතත් පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අස්වනු නෙලීම නවතා දැමීමට සිදුව ඇති බව ගොවින් පවසයි.
"මේ වී අස්වැන්න ඉක්මණින් ගත්තේ නැත්තම් ඒක හැලියා යයි. කෑන්වලට ඉන්ධන දෙන්නෙ නැති නිසා අපිට ඉන්ධන ගන්න විදිහක් නෑ. වාහනයක් අරන් ගියත් කිලෝමීටර් ගානන් යන්න ඕනේ," යැයි ගොවීන් පවසයි.
ඒ අතර, තංගල්ල මහවෙල ප්රදේශයේ ජනතාව ඩීසල් ලබාගැනීම සඳහා ඊයේ (28) උදෑසන සිට පස්වරුව දක්වාම පෝලිම්වල රැඳී සිටි බව 'අද දෙරණ'ට වාර්තා විය.
කෙසේ වෙතත් පස්වරුවේ ඩීසල් රැගත් බවුසරයක් එහි පැමිණි පසු ජනතාව එය පිළිගනු ලැබුවේ ඉතාමත් උණුසුම් ආකාරයෙනි.



















































