
යුරෝපා සංගම් සාමාජිකත්වය ඉල්ලා අයැදුම්පතක් නිල වශයෙන් යොමුකිරීමට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ඊයේ පියවර ගත්තේය.
අත්සන් තැබූ ලියවිල්ල යුරෝපා සංගමය වෙත යොමුකර තිබුණේ අන්තර්ජාලය ඔස්සේය.
තවද, රුසියානු ගුවන්යානා පියාසර කිරිම වැලැක්වීම සඳහා පියාසර කළ නොහැකි කලාපයක් නම් කරන ලෙස යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි, බටහිර රටවලින් ඉල්ලා සිටියේය.
එහිදී රුසියානු මිසයිල, ගුවන්යානා හා හෙලිකොප්ටර් යානා සම්බන්ධයෙන් අදාළ වාරණය පනවන ලෙසයි වීඩියෝවක් මාධ්‍යයට නිකුත්කරමින් ඔහු ඉල්ලා ඇත.
කාකිව් වෙත එල්ලවන ප්‍රහාර සලකා මෙම තීන්දුව ගන්නා ලෙසද සෙලෙන්ස්කි බලකර සිටී.
ඔහුට අනුව ගතවූ දින 5 තුළ රුසියාව කාකිව් නගරය වෙත පමණක් රොකට් ප්‍රහාර 56ක් හා කෘස් මිසයිල 113ක් එල්ල කර තිබේ.
කෙසේ වෙතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අමෙරිකාව පවසන්නේ, එවන් තීන්දුවක් මගින් අමෙරිකාවද මෙම යුද්ධයට ඈඳෙනු ඇති බවය.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ යුක්රේන නිත්‍ය නියෝජිත Sergei Kyslytsya ද චෝදනා කරන්නේ රුසියානු හමුදා යුක්රේන රෝහල්, ගිලන් රථ පවා ඉලක්ක කර ප්‍රහාර දියත්කරන බවටය.
මෙහිදී ඔවුන් රික්ත බෝම්බද යොදාගෙන ඇති බවට ද ඔහු චෝදනා කළේය.
සිවිල් වැසියන් ඉලක්ක කරගත් මේ ප්‍රහාර යුද අපරාධයක් බවද ඔහු අවධාරණය කරයි.
මේ අතර යුද අපරාධ පිළිබඳ එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කරුණු සලකාබැලීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.
යුදමය තත්ත්වය අතරතුර යුක්රේන- රුසියා සාම සාකච්ඡා ඊයේ බෙලරුස් හිදී පැවැත්වුණි.
එහිදී ඇතිකරගත් එකඟතා සම්බන්ධයෙන් අවසන් නිගමයකට එලඹීම සදහා දෙපාර්ශ්වයේම නියෝජිතයින් මේ වනවිට අගනුවර වෙත පැමිණ තිබේ.
රුසියාව පවසා තිබුණේ තත්ත්වය සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වය ඉදිරි දිනයකදි පෝලන්ත - බෙලරුස් දේශසිමාව අසල ස්ථානයක රැස්වීමට නියමිත බවය.
















































