
රුසියාව යුක්රේනය ආක්‍රමණය කොට අදට දින තුනකි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යුක්රේනයේ කියුව් අගනුවරට රුසියාව දැඩි මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවය.
එවැනි පසුබිමක රටින් පළායාම සඳහා අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාව යුක්රේන ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.
කුමන තත්ත්වයක මත වුවද තමන් යුක්රේනය අතහැර නොයන බව පවසන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, තමාට අවශ්‍ය පතොරම් මිස සවාරියක් නොවන බවය.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි,
"මම අපේ හමුදාවට අවි අත්හරින්න යැයි කියූ බවට බොරු ආරංචි පැතිරෙනවා. බලන්න. මං ඉන්නවා. අපි කවදාවත් සටන අත්හරින්නේ නැහැ. අපි අපේ රට ආරක්ෂා කරනවා. සත්‍ය තමයි අපේ අවිය. මේ අපේ රට. අපේ දරුවෝ. අපි සියලුදෙනා ආරක්ෂා කරනවා."
මේ අතර යුක්රේන රජයේ ඉල්ලීම පරිදි මව්බිම රැකගැනීමට පැමිණි අවි දැරිය හැකි සියලුම පුරවැසියන්ට අවි ආයුධ ලබාදීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
යුක්රේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් රුසියාවට එරෙහිව අවි අතට ගෙන සිටින ඡායාරූපයකට කාගේත් වැඩි අවධානය යොමුව තිබුණි.
මේ අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් යුක්රේන හමුදාවට දැනුම් දෙන්නේ සිය නායකයා බලයෙන් පහකර තම අතට බලය ගන්නා ලෙසය.
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්,
"නැවතත් මම යුක්රේන ආරක්ෂක අංශයන්ගෙන් අයදිනවා. ඔබගේ දරුවන්, බිරින්දෑවරුන් සහ වැඩිහිටියන් මානව පළිහක් ලෙස භාවිත කිරීමට නාසි කණ්ඩායම් වෙත අවස්ථාව දෙන්න එපා.ඔබගේ බලය ඔබේ අතට ගන්න. ඒ තුළින් අපිට එකඟවීම් ඇතිකර ගැනීමට පහසු අවස්ථාවන් උදාවනවා. නැත්නම් මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වු නාසි කණ්ඩායම් කියුව් බලය අත්පත් කරගනිමින් සමස්ත යුක්රේනයේම ජනතාව ප්‍රාණ ඇපයට ගනීවි."
එමෙන්ම රුසියානු ජනාධිපති පුටින් යුක්රේනය සමග සාකච්ඡා සඳහා කැමැත්ත පළකර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යුක්රේන ආක්‍රමණයට එරෙහි යෝජනාව රුසියාව නිශේධ බලය භාවිත කරමින් පරාජය කළේය.
දින තුනකට පෙර යුක්රේනය ආක්‍රමණය කළ රුසියාව මේ වනවිට කියුව් අගනුවරට අඛණ්ඩව ගුවනින් සහ ගොඩබිමින් ප්‍රහාර එල්ල කරමින් සිටී.
දරුණු සටනකින් පසුව රුසියානු හමුදා කියුව් අසල පිහිටි ප්‍රධාන ගුවන්තොටුපොළෙහි පාලනය ඊයේ අත්පත් කර ගත්තේය.
කියුව් නගරයට ඇතුළුවී සිටින රුසියානු යුද ටැංකි බලකාය පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ ධජය සහිතව පැමිණීම විශේෂත්වයකි.
අමෙරිකාව පවසන්නේ ගැටුම් ආරම්භයේ පටන් රුසියානු හමුදා මිසයිල ප්‍රහාර 200 කට ආසන්න සංඛ්‍යාවක් එල්ල කර ඇති බවය.
එම මිසයිලවලින් බොහොමයක් යුක්රේන හමුදා ඉලක්ක වෙත එල්ල කර ඇති අතර ඇතැම් මිසයිල සිවිල් ජනතාව සිටින ප්‍රදේශවලට පතිත වී තිබුණි.
අද උදෑසන කියුව්හි නේවාසික ගොඩනැගිල්ලකට ද මිසයිල ප්‍රහාරයක් එල්ලවී තිබේ.
මේ අතර බලාපොරොත්තු වූවාට වඩා ප්‍රතිප්‍රහාරය කියුව් අගනුවරදී අත්විඳීමට රුසියාවට සිදුව ඇත.
ගැටුම්වලදී රුසියානු හමුදාවට බරපතළ හානි සිදුව ඇති අතර යුක්රේනය පවසන්නේ, රුසියානු සෙබළු 3,500ක් ඝාතනය කළ බවය.
එමෙන්ම ගුවන් යානා 14ක්, හෙලිකොප්ටර් 8ක් බිම හෙළා, යුද්ධ ටැංකි 102ක් විනාශ කළ බවද එම වාර්තාවල සඳහන්ය.
තවත් රුසියානු සෙබළු 200ක් සිය භාරයේ සිටින බවද යුක්රේනය පවසයි.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය මෙම සංඛ්‍යාලේඛන මෙතෙක් ස්වාධීනව තහවුරු කරගෙන නොමැත.
රුසියානු ප්‍රහාරවලින් මේ වනවිට යුක්රේන ළමුන් තිදෙනෙකු හා සිවිල් වැසියන් 198 දෙනෙකු මියගොස් ඇතැයි ද නිල වාර්තාවල සඳහන්ය.
රුසියානු ආක්‍රමණයට එරෙහිව යුක්රේනය විසින් දිගින් දිගටම ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබුවහොත් සිය ඉලක්කය සපුරා ගැනීම සඳහා රුසියාව තාප බෝම්බ (Thermobaric) යොදා ගැනීමට ඉඩකඩ පවතින බව බටහිර රටවල් අනතුරු අඟවා තිබේ.
න්‍යෂ්ටික නොවන සියලු බෝම්බවල පියා යන අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මෙම බෝම්බ න්‍යෂ්ටික නොවන අවි අතර ප්‍රධානතම අවියයි.
යුද්ධයට මැදිව කියුව් අගනුවර සිටින ශ්‍රී ලාංකිකයෙකු වන රොෂාන් එහි තත්ත්වය පිළිබඳව අද දෙරණට මෙලෙස අදහස් පළ කළේය.
"දැනට කිසිම කරදරයක් නෑ ලංකාවේ සිටින කට්ටියට. මෙතන උදේ ඉදලා දවසට කිහිප පාරක්ම සයිරන් එක එලාම් කරනවා. එකයි ගැහුවේ.. ඒ කියන්නේ එළියට එන්න කියලා. දෙක ගහනවා කියන්නේ බංකර් ඇතුළට යන්න කියන එක. බංකර්වල දැනට ආරක්ෂිතයි. ලංකාවේ කට්ටිය බලාගෙන ඉන්නවා කොහොමද මේ රටින් පිට වෙන්නේ කියලා. දැනට ප්‍රශ්නයක් තියෙනවා.. කියුව්වල ඉදන් බෝඩර් එකට යන්න අමාරුයි. ට්‍රාන්ස්පෝට් ප්‍රශ්නයක් තියෙනවා."
මේ අතර කියුව් වෙත දිවෙන ප්‍රධාන මාර්ගයක් හරහා ඇති පාලමක් සිය ජීවිතය අහිමි කරගනිමින් පුපුරවා හැරීමට යුක්රේන සෙබළෙකු කටයුතු කර තිබුණි.
31 හැවිරිදි ඔහු යුක්රේන ඉංජිනේරු බලකායේ සෙබළෙකි.
යුද්ධයෙන් බැට කන සාමාන්‍ය වැසියන් ලක්ෂ ගණනක් මේ වනවිටත් යුක්රේනයෙන් පළායමින් සිටින අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, ගෙවුණු දින 3 තුළ පෝලන්තය, මෝල්දෝවා, රුමේනියාව ඇතුළු අසල්වැසි රටවල්වලට ඔවුන් පළාගොස් ඇති බවය.
රුසියානු විදෙස් අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කළේ, ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් අමෙරිකාව සෙසු රටවල් ආක්‍රමණය කරන්නේ නම් තම සමූහාණ්ඩුව යටතේ තිබුණු රටක් නිදහස් කරගැනීම වරදක් නොවන බවය.
යුක්රේන ආක්‍රමණයෙන් පසු පළමුවරට ඊට ප්‍රතිචාර දැක්වූ නේටෝ සංවිධානය සිය හදිසි ප්‍රතිචාර බළකාය සක්‍රීය කිරීමට තීරණය කර තිබුණි.
කෙසේවෙතත් නේටෝ සංවිධානය පවසන්නේ, හදිසි ප්‍රතිචාර බළකාය සක්‍රීය කිරීමෙන් අමෙරිකානු හෝ නේටෝ හමුදාව යුක්රේනයට භට පිරිස් පිටත්කර හැරීමක් අදහස් නොකරන බවය.
















































