
‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය ආදනය වූ බවට සැක සහිත පුද්ගලයෙකු නෞකා මගින් පැමිණියහොත් එම රෝගියා නෞකාවේ සිට ගොඩබිම ඇති අදාල රෝහලක් වෙත රැගෙනයාම සහ ගොඩබිම විශේෂ කළාපයක නිරෝධායන කටයුතු නියමිත සම්මත ක්‍රියා පටිපාටියකට අනුව සිදු කළ යුතු ආකාරය පිළිබඳ පෙරහුරුවක් සිදු කර ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව, සුව සැරිය ගිලන් සේවය, වරාය ගිණි නිවීමේ අංශය හා වරාය අධිකාරියේ සෞඛ්‍ය නිලධාරීන්, ජාතික නිරෝධායන ඒකකයේ වෛද්‍යවරු පිරිසක් එක්ව මෙම පෙරහුරුව පවත්වා ඇත.
කොවිඩ් 19 වෛරසය ශ්‍රී ලංකාවට පැමිණෙන නෞකා හරහා රට තුලට ඇතුළුවීම පාලනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යාෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකයේ මූලිකත්වයෙන්, සුවසැරිය ගිලන් සේවය, වරාය ගිණි නිවීමේ අංශය හා වරාය අධිකාරියේ සෞඛ්‍ය නිලධාරීන්, ජාතික නිරෝධායන ඒකකයේ වෛද්‍යවරු පිරිසක් හා එක්ව 2020 මාර්තු 13 වන දින කොළඹ වරාය පරිශ්‍රයේදී පෙරහුරු වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
එහිදී, නෞකාවක මෙම වෛරසය ආසාදිත වූ පුද්ගලයෙකු හමුවුවහොත් එම රෝගියා ආරක්‍ෂාකාරීව සහ කඩිනම් ප්‍රථිකාර සඳහා අදාල රෝහලක් කරා යොමු කිරීම, වෛරසය ආසාදිත පුද්ගලයාගෙන් වෙනත් පුද්ගලයන් වෙත අසාදනය වැළැක්වීම සඳහා ක්‍රියා කල යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් සිදු කර ඇත.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් රටතුළ ඇති හදිසි අවශ්‍යතාවය සඳහා කඩිනම් පියවරක් ලෙස ක්‍රියාත්මක කළ මෙම පෙරහුරුව සඳහා, බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ. නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වරාය අධිකාරියේ නිලධාරීන්, හා නාවික හමුදා පුද්ගයින් රැසක් සහභාගී වී ඇත.



















































