IOC ඉන්ධන මිලත් ඉහළට

IOC ඉන්ධන මිලත් ඉහළට

October 11, 2018   06:52 am

රජය විසින් හඳුන්වා දී ඇති ඉන්ධන මිළ සූත්‍රයට අනුව ඊයේ(10) මධ්‍යම රාත්‍රී සිට යළි ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

බොර තෙල් සඳහා පවතින ජාත්‍යන්තර මිල සහ ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය පදනම් කරගෙන දේශිය වශයෙන් ඉන්ධන මිල තීරණය කිරීම සඳහා පසුගිය මැයි මස 09 වන දින මෙම මිල සූත්‍රය හඳුන්වාදෙනු ලැබීය.

සෑම මසකම දහ වන දින ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා පත් කර ඇති මෙම මිල සූත්රන කමිටුවේ ප්‍රධානියා ලෙස මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය  භාණ්ඩාගාර ලේකම්වරයා කටයුතු කරන අතර ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක්, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයෙක්, ඛනිජ තෙල් අමාත්‍යාංශයේ නියෝජිතයෙක් ඇතුළු නියෝජිතයින් පස් දෙනෙකු ඇතුළත්ව සිටියි.

ඔක්තෝබර් මාසය සඳහා මිල තීරණය කිරීමට අදාළ කමිටුව ඊයේ පස්වරුවේ රැස් වූ අතර එහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 06කින් ද  ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක්  රුපියල් 08කින් ද ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 155ක් වන අතර 95 වර්ගයේ පෙට්‍රල්  ලීටරයක නව මිල රුපියල් 169ක් වෙයි.

සුපර් ඩීසල් ලීටරයක  මිල ද රුපියල් 08කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව සුපර් ඩීසල් ලීටරය ක නව මිල වන්නේ රුපියල් 141ක්.

කෙසේවෙතත් ඔටෝ ඩීසල් සඳහා මිල වැඩි කිරීමක් සිදු නොකිරීමටයි ඊයේ රැස් වූ ඉන්ධන මිල සූත්‍ර කමිටුව තීරණය කර ඇත.

මෙවර මිල සූත්‍රයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 11කින් වැඩි කිරීමට නියමිතව තිබුණ මහජනතාවට, ප්‍රවාහන, ධීවර වැනි ක්ෂේත්‍රයන්ට ඇතිවන්නා වූ අහිතකර බලපෑම සැලකිල්ලට ගෙන ඩීසල් මිල වැඩි නොකිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව තවදුරටත් ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 123ක් වන බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
 
මේ අතර ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මීළඟ ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 155ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රෙල් ලීටරයක මිල රුපියල් 172ක් වන බව ඉන්දියන් ඔයිල් සමාගම සඳහන් කළේය.

නව මිල සංශෝධනයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 129ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 141ක් වන බව ඉන්දියන් ඔයිල් සමාගම සඳහන් කළේය.

මේ අතර ඉන්ධන මිල වැඩි කිරීමට රජය ගනු ලැබූ තීරණය දැනුම්දීමත් සමඟ ඊයේ රාත්‍රී බොහෝ ඉන්ධන අළෙවි සැල්වල ඉන්ධන බෙදා හැරීම සිදු නොවූ බව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළේය.

මේ හේතුවෙන් ඇතැම් ඉන්ධන සැල්වල ඊයේ රාත්‍රී දිගු පෝලිම් ද දක්නට ලැබුණා.

ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්ධන සැල්වලට පැමිණි පුද්ගලයින් තමන් මුහුණ පා සිටින අපහසුතාවය පිළිබඳව අද දෙරණට මෙසේ පැහැදිලි කළේය.