පාර්ලිමේන්තුව බෙලහීන වෙලා - විමල් කියයි

පාර්ලිමේන්තුව බෙලහීන වෙලා - විමල් කියයි

May 3, 2017   04:13 pm

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අතුරු කමිටුවේ වාර්තාව තුළින් පාර්ලිමේන්තුව බෙලහීන තත්ත්වයට පත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. 

අද ‍(03) උදෑසන ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය එක්ව පවත්වන ලද ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්  මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ය. 

මේ වන විට පළාත් සභාව අභිබවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තුළින් යම් පනතක් සම්මත කර ගැනීමේ බලතල පාර්ලිමේන්තුව සතු වුවද නව කෙටුම්පත තුළින් පළාත් සභා සඳහා බලපාන ලද නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුව බලය පමණක් ප්‍රමාණවත් නොවන අතර එය පළාත් සභාවක දෙවන මන්ත්‍රණ මණ්ඩලයක් මඟින් ද අනුමැතිය හිමි විය යුතු බැවින් මෙය ඉතා භයානක තත්ත්වයක් බව විමල් වීරවංශ මහතා පැවසීය.

මේ තුළින් පළාත් සභාවලට වැඩි බලතල හිමිවීම තුළ ජිනීවා න්‍යාය පත්‍රයට අනුව ෆෙඩරල් පාලන තත්ත්වයක් බවට ශ්‍රී ලංකාව පත්වන බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

එමෙන්ම රණවිරුවන් දිවිපුදා බේරා ගත් ඒකීයත්වය අවසන් කිරිමට වත්මන් ආණ්ඩුව උත්සහ කරන බවට ද විමල් වීරවංශ මහතා මෙහිදී චෝදනා කළේය.