කොළඹ පාසල් 298 කින් මදුරු කීටයින් හමුවෙයි

කොළඹ පාසල් 298 කින් මදුරු කීටයින් හමුවෙයි

May 3, 2017   02:24 pm

බස්නාහිර පළාතේ පාසල් 298 කින් මදුරු කීටයින් සහිත පරිශ්‍ර හමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පාසල් වාරය ආරම්භ කිරීමෙන් අනතුරුව ඩෙංගු මදුරු මර්දනය සඳහා පවිත්‍රතා සිදුකර ඇති ආකාරය පිළිබඳ පරීක්ෂාවට ලක් කර වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී තිබේ.

ඒ අනුව පසුගිය 28 හා 29 යන දෙදින තුළ සෞඛ්‍ය නිලධාරීන්, පොලිසිය හා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව පාසල් පරීක්ෂා කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

බස්නාහිර පළාතේ පාසල් පරිශ්‍රය 10,089 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී මදුරු කීටයින් සහිත පරිශ්‍ර පැවති පාසල් 298ක් සොයා ගැනුණු බව සඳහන්වේ.

පාසල් පරිශ්‍ර 2091ක් නිවැරදි කිරීමටත් පාසල් 630 කට නිවේදන නිකුත් කිරීමටත් තවත් පාසල් 106කට නඩු පැවරීමටත් පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේය.

එම පරීක්ෂා කිරීමේ දී මදුරු කීටයින් බෝවන පරිශ්‍ර  පැවති පාසල් සඳහා එම ස්ථාන ඉවත් කිරීමට මාසයක කාලයක් ලබා දෙන අතර එම කාලයෙන් අනතුරුව ද මදුරු කීටයින් සහිත ස්ථාන හමු වුවහොත් අදාළ පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව නඩු පවරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.