ඔත්තුකරු අභිරහස් ලෙස මරුට?- පොලීසියේ විමසුම් ඇස යොමුවෙයි!
April 28, 2017 06:53 am
නීති විරෝධී වැලි ලොරියක් පොලීසියට අල්ලා දුන් බව කියන ඔත්තුකරුවෙකු අභිරහස් ලෙස මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ පුත්තලම - තබ්බෝව, පාවට්ටාමඩුව පදිංචිව සිටි ප්‍රේමරත්න නම් අයෙකු බවට හඳුනා ගෙන ඇත.
ඊයේ( 27) සවස කරුවලගස්වැව - තබ්බෝව,ප්‍රදේශයේදී මෙම මරණය සිදුවී ඇති බව අප වාර්තාකරු කියයි.
මිය ගොස් ඇති අය විසින් ප්‍රදේශයේ විවිධ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් පොලීසිය ඇතුළු රාජ්‍යය ආයතන දැනුවත් කරන අයෙකු බවට හඳුනා ගෙන ඇති බවත්, පාවට්ටාමඩුව ඇළ මාර්ගයෙන් නීති විරෝධී ලෙස කපන ලද වැලි ප්‍රවාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් 27 වැනිදා කරුවලගස්වැව පොලීසියේ නිලධාරීන් දැනුවත් කර ඇති බවත් සඳහන්ය.
පොලිස් නිලධාරීන් පැමිණ වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
එම සිද්ධියෙන් පසුව වැලි ලොරියේ හිමිකරු මිය ගොස් ඇති අයට බැන වදිමින් ඔහු පසු පස එළවා ගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
ඔවුන්ගෙන් බේරීම සඳහා අසල වූ නිවසකට වැදී ඇති මිය ගොස් ඇති අය එහි දොරගුළු දාගෙන ඇති බව පොලීසිය විසින් කරන ලද විමර්ශන වලදී හෙළිවී ඇත.
නිවසේ දොරගුළු විවෘත නොකිරීම නිසා මිය ගොස් ඇති අයගේ දරුවෙකු පැමිණ එහි දොර කඩා බලන විට පියා එම නිවස තුළ වැටී සිටිනු දැක ඇති බවත්, අනතුරුව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවත්, රෝහල් ගත කරන විටත් ඔහු මිය ගොස් තිබී ඇති බවත් සඳහන්ය.
මරණය සිදුවී ඇත්තේ කුමන ආකාරයකටද යන්න අනාවරණය කර ගැනීම සදහා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.
කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
