අගමැති-සෝනියා හමුවෙයි

අගමැති-සෝනියා හමුවෙයි

April 26, 2017   04:55 pm


ඉන්දියාවේ නිල සංචාරයේ නිරත අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ජාතික කොංග්‍රසයේ සභාපතිනී සෝනියා ගාන්ධි මහත්මිය හමු වී තිබේ.

මෙහිදී සෝනියා ගාන්ධි මහත්මිය පවසා ඇත්තේ දෙරට අතර පවතින සබඳතා තව තවත් ශක්තිමත් කරලීමටත් මෙරට සංවර්ධන ක්‍රියාවලිය සඳහා සහය ලබා දීමටත් තම පක්ෂය නිරතුරුවම ක්‍රියා කරන බවයි.

එමෙන්ම කලාපීය සහ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද ඇය එහිදී අවධාරණය කර තිබේ.

මෙම අවස්ථාව සඳහා ඉන්දීය හිටපු අග්‍රමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං මහතා ද එක්ව සිටි බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

මේ අතර තම ධූර කාලය අවසන්ව සිය රට බලා යාමට නියමිත සිෂෙල්ස් තානාපති ඩේවිඩ් ක්ලෝඩ් පියර් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.

අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එහිදී සීෂෙල් තානාපතිවරයා සඳහන් කළේ තම ධූර කාලය අවසන්ව මෙරටින් පිටත්ව ගියද දෙරට අතර ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කරගැනීමට උපරිමයෙන් කැපවන බවයි.

ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර සබඳතා වැඩිදියුණු කරගැනීමට මෙතෙක් ලබාදුන් සහය පිළිබඳව ජනාධිපතිවරයා විසින් සීෂෙල්ස් තානාපතිවරයාට ස්තූතිය පිරිනැමු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.